Let's try to understand Universal Dharma simply.
අපේ 'අතක්' දෙස මදක් සිත යොමුකර බලන්න;
අපට එය නමන්න දිගහරින්න කරකවන්න ආදී වශයෙන් හසුරුවන්න කොතරම් පහසුද. මෙය පොදුවේ ගත්කල අප පෘථිවිය තුල කුමන කාලයක, කුමන තරාතිරමක, කුමන ප්‍රදේශයක ජිවත්වන කෙනෙකුට උනත් වෙනසක් නැහැ.
අත ගැන පමණක් නොව, අපේ එදිනෙදා අනිකුත් බොහෝමයක් සාමාන්‍ය වැඩ කටයුතු ආදිය අපහසුවකින් තොරව අපට තේරුම් ගන්නටත්, කර ගන්නටත් පුළුවන්.
මෙවැනි පොදු තත්වයක් ලොව තුල පවතිනවා නම්, මෙම පෘථිවිය තුල කුමන කාලයක, කුමන තරාතිරමක, කුමන ප්‍රදේශයක ජිවත්වන කෙනෙකුට උනත් වෙනසක් නැතුව තමන්ට අදාල ආගම දහම තේරුම් ගැනීමටත්, එය ක්‍රියාවට නැංවීමටත්, එය තව කෙනෙකුට කියා දීමටත් අපහසු නොවිය යුතුයි. එයටද පොදු තත්වයක් තිබිය යුතුයි.
තමන් අදහන ආගම හෝ දහම ගැන දැනගන්න මහා පුස්තකාලයක් තුල ජිවිත කාලයක් ගත කරන්න වෙනවා නම්, එය එතරම්ම සංකීර්නයි නම්, ගමේ සිටින අඩු අධයාපනික දැනුමක් ඇති මි හරක් බලන්නාට තමන්ගේ ආගම ගැන සොයා බැලීමේ කටයුත්ත ප්‍රයෝගික නොවෙනවානම් එය පොදු දහමක් හෙවත් විශ්ව දහමක් වෙන්න බෑ. එය ගමේ මි හරක් බලන්නාටට සුදුසු නෑ. මගේ මතය නම්, "දහම සංකීර්ණ වුවත් එය බුද්ධිමතුන්ට පමණක් නොවිය යුතුයි". (සෝපාක නම් පහත් කුලයේ සිටි දුප්පත් දරුවාත් ඔහුගේ මවත් බුදුන්වහන්සේගෙන් බණ අසා ඉතා සුලු වෙලාවකින්ම සෝවාන් වූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්. මෙය පෙර පින් නිසා සිදුවූවක් ලෙස නොව, ඔවුන් දහම තේරුම්ගත් නිසා සිදුවූවක් ලෙසයි අපි වටහා ගත යුත්තේ).
ආගම දහම සංකීර්ණ වෙන්න පුළුවන්, ඒත් ඒ සංකීර්ණතාවය අපේ හිසට ලොකු බරක් වෙන්න විදිහක් නෑ. අපේ අතත් කොච්චර සංකීර්ණද. ඒත් ඒ සංකීර්ණතාවය අපට ගැටළුවක් වෙලා තියෙනවද. නැහැ නේද?
මගේ මතය අනුව නම්, "ආගම දහම සංකීර්ණ නෑ. ආගම දහම මිනිසුන් විසින්ම සංකීර්ණ කරලා" කියලයි මට නම් හිතෙන්නේ.
තම තමන් අදහන දහමේ සංකීර්ණ තාවයන් ගැන තම තමන්ම හිතාගන්න. මම ඉස්ලාම් දහම සරලව හඳුන්වා දෙන්න උත්සහ ගන්නම්.
- මොකක්ද මේ ඉස්ලාම් කියන්නේ?
- කාටද මේ මුස්ලිම් කියන්නේ?
- මෙය කොහෙන් ආවද?
- මේක කාගේ ආගමද?
- මේක ඇත්තක්ද, බොරුවක්ද, විහිලුවක්ද?
ටිකක් හොයල බලමු......
කෙටි "ප්‍රශ්න-උත්තර රටාවකින්" සරළ විදිහට දහම පිළිබඳව අධ්‍යයනයට ප්‍රවිශ්ඨ වෙමු.
අපි මෙහි "මුල - මැද - අග" හොයමු.
පහත සඳහන් තොරතුරු මෙහි විස්තර කර ඇත.
මුලින්ම විශ්වය පිළිබඳව දල අදහසක්
- "ඉස්ලාම්" යන්නෙහි සිංහල අරුත
- ඉස්ලාම් දහමේ ඉතිහාසය පිළිබඳව දල අදහසක්
- ඉස්ලාම් ස්වභාවික දහමකි
- "මුස්ලිම්" යන්නෙහි සිංහල අරුත
- ඉස්ලාම් ආගමෙහි අරමුණ
- මනුෂයයාගේ ආරම්භය, වර්ථමානය සහ ඔහුගේ අවසානය.
මුලින්ම විශ්වය පිළිබඳව දල අදහසක් ගමු.
මිනිසාට ග්‍රහණය වන විශාලතම දේ කුමක්ද? විශ්වය.
විශ්වයට ආරම්භයක් තිබේද? ඔව්. (නුතන විද්‍යාවේ පිළිගැන්ම [බිග් බැන්ග් තියරිය]ට අනුව වසර බිලියන 20ට පමණ පෙර).
එසේ නම් මෙම විශ්වය තුල පවතින ආගම හෝ දහමක උපරිම ඉතිහාසය කොපමණද? නුතන විද්‍යාවට අනුව වසර බිලියන 20 ක් විය යුතුයි.
ඉන් එහාට දිවයන ආගමක් පිලිබදව විශ්වාස කල හැකිද? නුතන විද්‍යාවට අනුව පිළිගන්න බැහැ. (එහෙත්, බෞද්ධාගම වැනි ධර්ම ඉතිහාස වල අපි අහල තියෙන සාරා සංකීය කල්ප ලක්ෂ ගණන් එපිටට ගිය අතීතය සහ එකල මනුෂ්‍යයන්ගේ පැවැත්ම, මෙය ඇතිවන නැතිවන චක්‍ර ලෙස සිදුවන බව ආදිය සැලකිල්ලට ගත්තත් එහි ආරම්භයක් ගැන සඳහනක් නෑ. ඉස්ලාම් දහම තුල ඉහල අහස් හතක නිර්මානයක් සහ එහි විනාශය ගැනද කතා කරයි. කෙතරම් විශාල විශ්වයන් ඇතිවී නැති වී නැවත නැවත චක්‍ර ලෙස සිදු උනත්, දෙවියන් අහස් හතක් සහිත විශ්වය නිර්මාණය කල බව ගැන සඳහන් කලත් අප වටහා ගත යුතු ප්‍රධානතම කාරනාව වන්නේ ඒවා සියල්ල නිර්මාණ ලෙසට දැකිය හැකි බවය).
විශ්වයේ ආරම්භය පිළිබඳව මිනිසා දරන අදහස කුමක්ද?
- ඉබේම/ හේතුවක්, හේතු කාරකයක් නොමැතිව හටගැනීම. - බුද්ධිය ඇති කෙනෙක් මෙය පිළිගන්න සුදානම් නැ. ආරම්භ වන සෑම දෙයකටම හේතුවක් තිබිය යුතුය.
- මහා මැවුම් කරුවකුගේ මැවීමක්
ඉස්ලාම් දහමේ ඉතිහාසය පිළිබඳව දල අදහසක් ගමු.
1. මෙම විශ්වය තුල "ඉස්ලාම් දහම" පටන් ගත්තේ කවදාද? විශ්වය ආරම්භ වූ දවසෙ. (සමහර විට තේරුනේ නෑ - නෑ. වගේ දැනුනත් කමක් නෑ, ඉදිරියට යන්න. පසුව වැටහෙයි).
2. පළමු මිනිසා වදුරෙකුගෙන් ඇති උනාද? නුතන විද්‍යාවට අනුව අද එය ලොකුම විහිළුවකි. (ලොව සිටින යුදෙව්වන්, ක්‍රිස්තියානුවන් සහ මුස්ලිම් සියල්ලම පිලිගන්නේත් මිනිසා ආදම් [අ.ස] නැමති පලමු මිනිසාගෙන් මනුශ්‍යය දරුවන් ලෙස පෘතුවිය පුරා වියාප්ත උන බවයි).
3. පළමු මිනිසාට උපතක් තිබේද? නැත. එය මැවිමකි.
4. ඉස්ලාම් දහමට අනුව මනුශ්ෂ්‍යයා ආරම්භ වුයේ කවදාද? දෙවියන් විසින් පළමු මිනිසාව නිර්මාණය කල දවසෙ.(විස්තර පසුවට).
5. ඉස්ලාම් දහමට අනුව පෘථිවියට මනුශ්ෂ්‍යයා බිහි වුයේ කවදාද? පළමු මිනිසා (සහ ඔහුගේ බිරිද) පෘථිවියට පහල වූ දවසෙ. (විස්තර පසුවට)
6. පෘථිවිය මත ජනගහන වර්ධනය පිළිබඳව අදහසක් දෙන්න .
මුලින්ම පළමු මිනිසා සහ ඔහුගේ බිරිද = 2 ඉන්පසු ඔවුන්ගෙන් ටික ටික දරුවන් ඇති උනා - 4 < 8 < 20 < 100 < 500 < 2,500 < 12,000 < 75,000, ........1 Billion < 5 Billion < අද 7.8 Billion.
7. පෘථිවියෙහි පළමු මිනිසාගේ දහම ඔහුට ලැබුනේ කාගෙන්ද? ඔහුගේ නිර්මතෘගෙන්.
8. පළමු මිනිසාට ඔහුගේ නිර්මතෘ (දෙවිදුන්) ඔහුට දුන් දහම කුමක්ද? දෙවිදුන්ගේ නියමයන්ට අනුව ජිවත්වන ජිවන සැලැස්ම (එය ඉස්ලාම් ලෙස හඳුන්වයි).
9. පළමු මිනිසා (ආදම් අ.ස)ට වෙනත් ශාස්තෘවරුන් හිටියද? නැත.
10. එසේනම් ඔහු නැමදුවේ කාවද ? ඔහුගේත්, මුළු මහත් විශ්වයේත් නිර්මතෘ වන - එකම දෙවියන්ට
11. පෘථිවියෙහි වසන සියල්ල පළමු මිනිසාගේ දරුවන් නම්, අද ඔහුගේ දරුවන් වන අප නමදින්නේ, අප පිළිපදින්නේ, අපගේ මුල්ම පියාට ඔහුගේ නිර්මාතෘගෙන් උරුම වු, මුල්ම පියා අනුගමනය කල දහම වන "ඉස්ලාම්"ද , නැත්නම් පියා ට පසු බිහිවූ වෙනත් ශාස්තෘවරුන්ගේ දහමක් ද?
පළිතුරු 3 කි.
- ඔව්, අප පිළිපදින්නේ අපගේ මුල්ම පියා ඇදහු විශ්වයේ නිර්මාතෘ (අල්ලාහ් ) (එකම දෙවියා) ගේ දහම වන ඉස්ලාම්ය. (මෙයයි මා අද පිළිගන්නා පිළිතුර)
- නැත, අප පිළිපදින්නේ අපගේ මුල්ම පියා ගෙන් පසු බිහිවූ වෙනත් ශාස්තෘවරුන්ගේ දහමකි. (ඉබ්‍රහිම්, මුසා, ජේසුස්/ඊසා (අලෙය්) හෝ මොහම්මඩ් (සල්), හෝ බුදුවරුන්, හෝ සාය් බබා හෝ වෙන ඕනෑම කෙනෙකුගේ දහමක්)
- අප කිසිම දහමක් පිළිපදින්නේ නැත.
ඉස්ලාම් ස්වභාවික දහමකි
1. සෑම මනුෂ්‍යයෙකුටම ඉස්ලාම් දහම ගැන දැන ගැනීමට ශාස්තෘවරුන් උවමනා ද? නැත
2. එසේ නම් ඔහු තම දහම, තමා නමදින්නේ කාටද යන්න පිළිබඳව දැනගන්නේ කෙසේද? එය ස්වභාවික වූ දහමය්. එය තමා තුලම ඇත.
3. උදාහරණ මගින් පෙන්විය හැකිද? ඔව්. බාහිර ලෝකයට කිසිම අයුරකින් නොගැටුණ පුද්ගලයා අදහන දහම කුමක් ද? එයය් පිළිතුර. එයද "ඉස්ලාම්" වේ. කුඩා කල සිටම කැලෑවක තනියම ජීවත් වූ මිනිසෙකුට වුව තම ස්වභාවික දහම අනුගමනය කරමින් සිටිය හැක. (නිසි පරිදි දෙවියන්ව හදුනා ගැනීම ස්වභාවය මිනිසා තුලම ඇත).
නමුත් තම සමාජය වෙත (තම නිර්මාතෘ විසින් පැහැදිලි සාක්ෂි සහිතව) දුතවරයෙක් ඒවා තිබේ නම් එම සමාජය ඔහුව අනුගමනය කිරීම අනිවාර්ය වේ.
4. අද සමාජය තුල තියෙන්නෙත් ඔය කියන ඉස්ලාම් දහමමද? ඔව්
5. එහෙනම් ඉස්ලාම් දහමේ සාශ්තෘවරුන්නි පැමිණ තිබෙන්නේ ඇයි? තමා තුල ඇති තම ස්වභාවික දහම අමතක කල අයට මතක්කර දීමට සහ එම දහම අනුගමනය කල හැකි බව ආදර්ශයක් මගින් පෙන්වීමටත්, දෙවියන්ගේ පණිවිඩය මහජනයාට ප්‍රකාශ කිරීමටත්ය.
6. ඔය කියන ස්වභාවික දහම යන්න ටිකක් පැහැදිලි කරනවද? විශ්වයේ මෙන්ම තමාගේ නිර්මාතෘ තමාටත් තමාගේ මුල්ම පියාටත් කියා දුන් ජිවන සැලැස්ම (ඉස්ලාම්).
7. මුල අමතක කල ජනයා නොමග ගියේ කෙසේද? තම මුල්ම පියා නොකළ දේ කලා. තම නිර්මාතෘව නොනැමද වෙනත් වෙනත් දේ, වෙන වෙන මනුෂ්‍යන්, ගස් ගල්, රුප, පිළිම, තමන් සාශ්තෘවරුන් යැයි හඳුන්වා ගත්තු අයව නමදින්න යොමු උනා. තම දෙවියන්ගේ උපදෙස් වෙනුවට වෙන වෙන උපදෙස් පස්සේ ගියා. ඇතැමුන් තම නිර්මාතෘව වැරදි විදිහට තේරුම් ගෙන ක්‍රියා කලා. සමහරු දෙවි ගොල්ලන්ට එක එක රූප තමන්ම හිතල හදාගත්ත. කිසිම සාක්ෂියක් නැතුවම.
8. ඔය කියන ස්වභාවික දහම හැම කෙනෙක් තුලම තියෙනවා කියල කොහොමද පිළිගන්නේ? ඔබ ඔබේම හදවතින් අහන්න. ඔබ කුමන ආගම ඇදහුවත් ඔබ කුමන හෝ මොහොතක ඔබ ඔබේ දෙවියන්ව අමතන ස්වභාවය ඔබ තුලින් මතුවෙනවා.
9. මුස්ලිම් නොවන අයත් දන්න දෙවිගොල්ලෝ ගොඩක් ඉන්නවා (තිස් තුන් කෝටියක් විතර). ඉස්ලාම් දහමේ කියන රූපයක්වත් නැති එකම දෙවියෝ හදුනාගන්න පුලුවන්ද? ඔවුන් විශ්වාස කරන දෙවිගොල්ලෝ කිසිවෙකු පිළිබඳව කිසිම සාක්ෂියක් නැහැ. නමුත් ඉස්ලාම් දහම තුල පෙන්වා දෙන මෙම විශ්වය මවා, පෝෂණය කරමින්, පාලනය කරමින් සිටින එකම සර්වබලධාරී දෙවියන් සිටින බවට බුද්ධිය තියෙන කෙනෙකුට නම් සාක්ෂි සහිතව පෙන්වන්නට පුළුවන්.
10. දෙවියන්ගේ උපදෙස් අපට දැකබලා ගන්න පුලුවන්න්ද? ඔව්, කිසිදු සැකයක් නැතිව, ඕනෑම වෙලාවක.
11. ඒ සදහා පූජක පක්ෂයක සරණ යා යුතුද? කොහෙත්ම නෑ. ඉස්ලාම් දහමට පුජක පක්ෂයක් නැත. නමුත් ඔබේ පහසුව සඳහා ඉස්ලාම් සම්බන්ධව නිවැරදි දැනුම ඇති අයෙකුගෙන් සහය ලබා ගැනීම වඩා හොඳය
12. ඒ සදහා මා සුදානම් විය යුත්තේ කෙසේද? පක්ෂග්‍රාහී නොවී, හැගීම් වලට වහල් නොවී, මධ්‍යස්ත මනසකින්, බුද්ධිමත්ව සවන්දෙන්න, කියවන්න, බලන්න. ඉතාම ඉක්මනින් විශ්ව දහම කුමක්ද යන්න ඔබට තේරුම් ගත හැක. ඔබ මහාචාර්ය කෙනෙක් හෝ අධ්‍යයාපනික් දැනුම අඩු කෙනෙකු හෝ වෙන්න පුලුවන්. ප්‍රශ්නයක් නෑ.
"ඉස්ලාම්" යන්නෙහි සිංහල අරුත දැනගනිමු.
'ඉස්ලාම්' කියන්නේ ආගමට දීල තියෙන නමද? නැත, එය අරාබි වචනයකි. කෙටිම සිංහල අරුත "සාමය"යන්නයි. (යටහත් වීම, අවනත වීම, හා කීකරු වීම යන්නත් ඒ තුල ගැබ්ව ඇත. එයද සිහියේ තබාගන්න).
මොන විදිහේ සාමයක්ද? මේ විශ්වයේ මන්දාකිණිවල සිට, සෞරග්‍රහ මණ්ඩලවල සිට, ග්‍රහ ලෝක, ඉර හද, අහස පොලොව සුළග ගින්දර කඳු මුහුඳු ගහ කොළ සතා සිව්පාවා මනුෂ්‍යයද ඇතුළුව අපේ පන්චේන්ද්‍රයන්ට ගෝචර වන, ගෝචර නොවන සියල්ලගේම පවතින සාමය "ඉස්ලාම්" යන වචනය තුල ඇත. (තේරෙන්නේ නෑ නෑ වගේ හිතුනට කමක් නෑ, ඉදිරියට යන්න. එවිට වැටහෙයි)
සාමය (සලාම්) ඇති විට අපිට කුමක් බලාපොරොත්තු විය හැකිද? ප්‍රචණ්ඩත්වය නොමැතිකම, පීඩනය නොමැතිකම, විප්ලවයක් නොමැතිකම, ක්‍රියා පිලිවතෙහි අව්ලක් නොමැතිකම, නිතිය අකුරටම ක්‍රියාත්මක වීම, මනා පාලනයකින් යුක්ත වීම, යහපත් වටපිටාවක් ගොඩනැගීම. මෙය විශ්වයේ ක්ෂිරපත වල හෝ වේවා සෞරග්‍රහ මණ්ඩලවල හෝ වේවා, පෘථිවියෙහි අහස, පොලව හෝ මුහුද තුල හෝ වේවා, මහා කැලයක හෝ කුහුඹි ගුලක හෝ දෙබර කුඩුවක හෝ පාසල් කාමරයක හෝ පව්ලක හෝ තමා තුළ හෝ විය හැකි.
ඉහත සදහන් ආකාරයට ග්‍රහලෝක වල, ගින්දර වල, ගහ කොළ, සතා සර්පයා ආදිය තුල හා මිනිසා තුල 'සලාම්' හෙවත් 'සාමය' තියෙන්නේ කෙසේද? ග්‍රහ ලෝක කෙසේ ක්‍රියා කරන්නේ දැයි බලන්න. තම නිර්මාතෘගේ අණට, නිතියට එකගව, එනම්, යටහත්වද, අවනතවද, කිකරුවද තම කක්ෂයන් තුල නියමිත වේගයන්ගෙන් නියමිත චලන පමණක් දක්වයි. දේව නීතියට පිට නොයනු ඇත. එනම් ග්‍රහලෝක තුල සාමය හෙවත්"ඉස්ලාම්"ඇත.
උදාහරණයක් බලන්න. සූර්යයා පැයකට කි.මි. 720,000ක වේගයෙන් තම කක්ෂය තුල පිහිටුවමින් වේගා නම් දැවැන්ත තරුවක් දෙසට ගමන් කරන බව නුතන විද්වතුන් පවසය්. සූර්යයා සමග පෘථිවියත් එම ගමනේ යය්. තම තමන්ගේ දුර පරතරයන් නිසියාකාරව තබා ගනී. මෙය නිකම්ම වෙනවද? ඉරය් පෘතිවියය් සාකච්චා කරගෙන මේ ගමන යනවද? නැත්නම් මෙය මෙහෙයවන, නිතිය ක්‍රියාත්මක කරවන, අණදෙන කව්රුහරි ඉන්න ඕනිද?
ඉරද, මුහුදද, ගහකොලද, කුහුබියගේ ශරීරයද දේව නීතියටම අනුව ක්‍රියා කරයි. එනිසා ඒවා තුල සාමය (ඉස්ලාම්) ඇත.
මිනිසාගේ ශරීර අවයවයන් ද මුළු සිරුරමද දේව නීතියට අනුව ක්‍රියා කරයි. එනිසා මිනිසාගේ සිරුර තුල සාමය (ඉස්ලාම්) ඇත. කොටින්ම සෑම අංශුවක්ම දේව නීතියට අනුවම මිස වෙන ක්‍රමයකට ක්‍රියාත්මක වන්නේ නෑ.
දැන් මිනිසාගේ සිත ක්‍රියා කරන්නේ කෙසේ දැය් බලමු.
මිනිසාගේ පුද්ගලික ස්වභාවය අනුව සිත් ආකාර දෙකකට ක්‍රියා කරයි .
a) දෙවියන් විශ්වාස කරන (දේව නීතියට එකඟව පවතින) සිත [එතුල සාමය හෙවත් 'සලාම්' ඇත].
b) දෙවියන් විශ්වාස නොකර දේව නිතියට පිටුපා පවතින සිත (එතුල සාමය හෙවත් 'සලාම්' නැත). මොහු තුලද දේව විස්වාසය ඇත. නමුත්, තමාගේ හෝ වෙන යම් බලපැමක හේතුවෙන් එය තමා තුලම සඟවා/ යටපත් කර ඇත.
"මුස්ලිම් "යන්නෙහි සිංහල අරුත දැනගනිමු.
- 'මුස්ලිම්' කියන්නේ අරාබිකරයෙන් බිහි වූ මනුෂ්‍ය ජාතියක්ද? නැත
- 'මුස්ලිම්' කියන්නේ කුමන හෝ මනුෂ්‍ය ජාතියක් හදුන්වන වචනයක්ද? නැත
- 'මුස්ලිම්' යන වචනය මනුෂ්‍ය නොවන, පන ඇති හෝ පන නැති දෙයකටද භාවිතා කල හැකි නම්, 'මුස්ලිම් යන අරාබි වචනයෙහි සිංහල අරුත කුමක්ද? විශ්වය සහ එහි ඇති ඝන, ද්‍රව, වායූ සියල්ල එහි නිර්මාතෘ ගේ නිර්මාණය. නිර්මාතෘට සහ ඔහුගේ නියමයන්ට යටහත්ව, කීකරුව සහ අවනතව ජීවත් වෙන කෙනා හෝ පවතින දෙය (එනම් එම නිර්මාණය අරාබි බසින් "මුස්ලිම්" දෙයක් ලෙස හඳුන්වන්න පුලුවන්.
ව්‍යාකරණ රටාව බලන්න
****සලාම් =දේව නීතියට යටත්ව, කීකරුව, අවනතව "සාමයෙන් පැවතීමේ" ක්‍රියාව.
****මු= අරාබි ව්‍යාකරණ වලට අනුව ක්‍රියාව මුලට යොදන අකුරකි (මෙය දැමු පසු ක්‍රියාව>, "ක්‍රියාව කරන්නා" බවට පත් වේ).
****මු + සලාම් = මුස්ලිම් [සලාම්/සාමය කියන දේව නීතිය ක්‍රියාවට නගන්නා]
උදා: මු + දරස් = මුදරිස් (උගන්වන්නා) [දරස්/ උගැන්වීම ක්‍රියාවට නගන්නා]
ඉර මුස්ලිම් ද? ඉරද එකම නිර්මාතෘ ගේ නිර්මාණයකි. ඉර වෙත එහි නිර්මාතෘ විසින් පනවන ලද නියමයන්ට යටහත්වද, කීකරුව සහ අවනතවද පවතින නිසා ඉර මුස්ලිම් ය. ඔබගේ හදවතද එහි නිර්මාතෘ විසින් පනවන ලද නියමයන්ට යටහත්වද, කීකරුව සහ අවනතවද පවතින නිසා එයද මුස්ලිම් ය. මේ අනුව මුළු සොබා දහමම මුස්ලිම් ය.
මනුෂ්‍යයාගේ හදවත ක්‍රියාත්මක වන්නේ කාගේ නියමයන්න්ට අනුවද? තමා එය ක්‍රියා කරවීමට ඉදිරිපත් වී නැත්නම්ද, තමාගේ මව හෝ පියා හෝ එය කර දෙන්නේද නැත්නම් සහ එය "නිකම්ම වෙනවා" කියල කියන්න තරම් අපේ බුද්ධිය අපට ඉඩ දෙන්නෙත් නැත්නම්, එය අපේ ශරීරයේ හිමිකරු විසින් කරනවා හෝ කරවනවා විය යුතුය් නේද? හේතුව නම්, මේ විශ්වය වගේම ඔබෙත් මගෙත් ශරීරයේ හිමිකරු ඔහු (එනම් එකම සර්වබලධාරී දෙවියන්-අල්ලාහ්) නිසා.
විශ්වයම දෙවියන්ගේ අණට යටත්ව අවනතව කීකරුව සිටින නිසා මුළු විශ්වයම "මුස්ලිම් "ද? ඔව්. පැහැදිලිවම.
එසේ නම් සමාජය තුල 'මුස්ලිම් නොවන ජන කොටසක්' ලෙස අපි හදුන්වන්නේ කාවද? වැදගත්ම ප්‍රශ්නය මෙයයි .පිළිතුර ටිකක් විස්තර ඇතුව ලියන්නම්.
මිනිසා මෙම පෘතුවිය තුල සුවිශේෂී නිර්මාණයකි. මුළු පෘතුවියමද, අහසද පොළවද ඉර හඳ තරු ගහ-කොල සතා-සිව්පාවා ගංඟා මුහුදු වැලි පස් සුලඟ ආදී සෑම දෙයක්ම මිනිසාට සේවය කරයි. දෙවියන් ඒවා මිනිසා ට අවනත කර දී ඇත.
මිනිසා මෙම පෘථිවියෙහි නියෝජිතයා වේ. ඔහුට අනිකුත් නිර්මාණ වලට වගේ නොව, සියුම්ව හැසිරිය හැකි සිරුරට අමතරව සුවිශේෂී බුද්ධියක්ද, සිතීමේ නිදහසද, හොඳ නරක තෝරා බේරා ගැනීමේ නුවණද, යමක් දෙස නිකම්ම බලන්නේ නැතුව විචාර බුද්ධිය මෙහෙයවල භෞතික මෙන්ම පාර භෞතික දේද සිහිනුවනින් දැකීමේ හැකියාවද උරුම කරදී, ඉරද හඳද ඇතුළුව පෘථිවියමද තමාට නතුකර දී (එනම් පෘථිවියෙහි නියෝජිත තනතුර දී) මේ පෘතුවිය තුලට කිසියම් කාලසීමාවකට මිනිසාව එවා ඇත.
මිනිසාට අවශ්‍ය සියලු පහසුකම්ද, ඇස් කන් ආදියද, කතා කිරීමේ ලිවීමේ උපකරණ හැදීමේ හැකියාවද දී ඇත. ජිවත් විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව තමා තුලම දැනුමද, හෘද සාක්ෂියද ස්ථාපිත කර දෙවියන් නැමදීමේ චින්තනයද මනසතුලට කවා, ඒ අතර තුර නොමග යමින් තම ස්වාමියා/ තම නිර්මාතෘ/ තම දෙවියා අමතක කල අයට මතක් කරදීමටද ජිවත් වන්නේ කෙසේද යන්න පිලිබදව ආදර්ශයෙන් උපදෙස් දී යහමග කියාදීමට සහ තම දෙවියන්ව ප්‍රතික්ෂේප කිරීමෙන් ඇතිවන භයානක ඉරණම ගැන බිය ගැන්විමටද තම දෙවියන්ට කිකරු වන්නන්ට සුභාශින්සනද රැගෙන වරින්වර දෙවියන්ගේ දුතයන්ද ඒවා ඇත. තව්රාත්, සුබුර්, ඉන්ජිල්, කුරාන් වැනි ධර්ම පුස්තකද (දිවය්‍ය හෙලිදරව්වන්) එවා ඇත.
තත්වය මෙසේ තිබියදී 'තමන්ට නිර්මාතෘ කෙනෙක් නැත'ය කියමින් 'විශ්වය නිකම්ම බිහි උනා' කියමින්, 'විශ්වයේ පාලනය නිකම්ම වෙනවයි කියමින්, පැහැදිලි සාක්ෂි සහිත පැමිණ ඇති දෙවියන්ගේ වදන්, දිවය්‍ය හෙලිදරව්වන් දේවදුතයන් ප්‍රතික්ෂේප කරමින් වෙන වෙන මාර්ගවල යන උදවිය, වෙන වෙන ශාස්තෘවරුන් අනුගමනය කරන උදවිය "මුස්ලිම් නොවන" ජන කොටසයි. ඒ අයගෙත් හිත පමණක් මුස්ලිම් නොවේ. නමුත් තම සිරුර දෙවියන්ට අවනතයි. එනිසා සිරුර මුස්ලිම් වේ .
තම නියෝජිතයා(මිනිසා) තම ජිවිත කාලය තුල තමන්ට ලැබුණු ශරීරයද ලැබුණු වස්තුවද දරුවන්ද අසල්වැසියන්ද සතා සිව්පාව සමගද ගහ කොල සමගද තම පරිසරය සමගද කෙසේ ජිවත් වන්නේ දැයි තමා නිරීක්ෂණය කරමින්ද සටහන් කරමින්ද සිටින බව දෙවියන්ම පවසයි.
හොඳ නරක තෝරාගෙන, පරිසරයට ලෙන්ගතුව හෝ හානිකරවද, පින් වැඩ හෝ පව් වැඩ කරගෙන, සාමයෙන් සමගියෙන් හෝ ප්‍රචණ්ඩත්වයෙන් ද, ආත්මාර්ථකාමී හෝ පරාර්ථකාමී ලෙසද, යහපත් හෝ අයහපත් පරිසරයක් තෝරාගෙන, යහපත් හෝ අයහපත් ජිවනොපයක් කරගෙන, මනුෂ්‍යයෙක් ලෙස හෝ තිරිසනෙක් ලෙස තම බුද්ධිය යොදවමින් තම ජීවිතය කරගෙන යාමේ නිදහස මිනිසාට දී ඇත. (මෙය දෙවියන්ගේ සුවිසේෂි පරීක්ෂණයකි).
අන්ධයෙක්ව නිර්මාණය කර ඔහුට වෙනම පරීක්ෂණයක්ද, ඇස් අන්ධ කෙනා දිහා බලාගෙන ඇස් තියෙන කෙනා හැසිරෙන ආකාරය, එය වෙනම පරීක්ෂණයක් ලෙසද ඉදිරිපත් කර ඇත.
සෑම මනුෂ්‍යයෙකුටම ස්වාදීන වූ පරීක්ෂණයකි. පරීක්ෂණයේ ප්‍රතිපල තම තමන් තම නිර්මාතෘ ගෙන් බලාපොරොත්තු වන්න. මරණින් පසු. (ඒ ගැන පසුව කියවන්න). එක මිනිසෙකුට අවස්ථා දෙකක් නෑ. මේ වන විටත් මෙලොව හැර ගොස් ඇති සියලුම දෙනාගෙම ජීවිත කතාවන් දෙවියන් ලඟය.
මරනින් පසු අප සියල්ලට "බර්සාහ්" නමින් හඳුන්වන මරනින් මතු ජීවිතකාලයක් ඇත. අප මිය ගිය පසු නැවත අපට මේ ලෝකයට මනුශ්යයෙකු ලෙස හෝ සතෙකු ලෙස පැමිණිය නොහැකිය. නැවත දෙවියන් අපව කැඳවන දවසේ ඔහු වෙත යා යුතුව ඇත. ඉන් පසු අප මෙලොව කල කී දේ සම්බන්ඳයෙන් විනිශ්චය ලබා දෙනු ඇත. විනිශ්චය අනුව අපගේ ගමනාන්තය ස්වර්ගයෙන් හෝ අපායෙන් කෙලවර වනු ඇත. ඒ නවාතැනෙහි නිමක් නැති කාලයක් ඉන්නට සිදුවනු ඇත. එනිසා අපගේ මරනින් මතු ජීවිතය සැපවත් කර ගැනීමට අපගේ නිර්මාතෘ ගේ උපදෙස් වලට අනුව ජීවිතය සකසා ගැනීම අප සැමගේ අරමුණ විය යුතුය.
මෙම විශ්වය තුල (අපට ඉහලින් ඇති අහස් තුල) අප වැනි තව කොපමනදෝ නිර්මාණ කර ඇති බවද දෙවියන් කුරානය තුලින් අපට දන්වා ඇත (අල් කුර්ආන් 23:17). ඒවා සියල්ල් හේතුවක් සඳහාම නිර්මාණය කල බවත් පවසා ඇත. දෙවියන්ගේ කැමැත්ත පරිදි යම් දිනක මෙම විශ්වයම විනාශකර දමනු ඇත. ඉන් පසු නැවත අලුත් තත්ව හට ගැනීමක් පවා විය හැක. එය සදාකල් පවතින සර්වබලධාරී දෙවියන්ගේ කැමැත්තය. ස්වර්ගවාසීන් සහ නිරාවාසීන් දෙවියන් කැමති තාක් කල් ස්වර්ගයන්හී සහ නිරයන්හී සිටිනු ඇත. ඒවා තිබෙන්නේ කොහේදැයි දෙවියන්ම දනී. එහෙත් ඒවා නිශ්චිත වශයෙන්ම ඇති බව දෙවියන්ම අපට දන්වා ඇත.
by sjw