09 October 2016

මම කවුද ? WHO AM I ?


මම කවුද ?   WHO AM I   ?


'මම'- ප්‍රභේද දෙකකින් සමන්විත බව අපට හැඟෙනවා.

  1. භාහිර ශරීරය (පංචස්කන්ධය) 
  2. අභ්‍යන්තර ශරීරය (ආත්මය සහ සිත වැනි දෑ)
1. භාහිර ශරීරය

අප සරලව දන්නා තරමින් මවගේ ඩිම්බ සෛලයක් හා පියාගේ ශුක්‍රානු සෛලයක් එක්වී ආරම්භයේදී ඇසටවත් නොපෙනෙන මට්ටමින් පටන්ගෙන එය බිලියන ට්‍රිලියන වාරයක් විභේදනය වෙලා වෙනස් වීම් වලට ලක්වෙලා ලොකු වෙලා හැදෙන සහ, අවසානයේ පොලොවට පස් වෙලා නැවත ඇසට නොපෙනෙන කුඩා අන්ශු වෙලා යන අපි කියන මේ ශරීරයයි. 

පැහැදිලිවම මේ භාහිර ශරීරය ගැන "මම" කියන අපි කිසිවෙකුත් හරියටම දන්නෙත් නැහැ. කොටින්ම ඔය ට්‍රිලියන ගනන් ඇති සෛල වලින් එකක ක්‍රියාකාරීත්වය ගැනවත් "'මම" කියා ගන්නා අපි හරියටම දන්නෙත් නෑ, එවැන්නක් "මම" කියා ගන්නා අපිට නිර්මාණය කරන්නත් බෑ.
එහෙනම් එයට මම හෝ මගේ කිව්වට "මගේ නෙවෙයි" වගේ නේද?

මෙය මගේ නොවෙයි කියන්න ඕනි තරම් සාදක ඇති අතර මෙය මගේයි කියන කෙනෙක් ඉන්නවා නම් ඔහුට  ඒ ගැන නැවත හිතන්න වෙනවා.

ඒ වගේම මේ භාහිර ශරීරය තනිකරම ජලය මිශ්‍ර පස් වල ඇති සංඝටක වලින් පමනක් හැදුණු එකක් බවත් අපිට විද්‍යාගාර මට්ටමින් ඔප්පු කර ගන්නත් පුලුවන්. එනම් මගේ භාහිර ශරීරයත්, ගස් කොලන් සතා සිව්පාවා මේ ඔක්කොම ජලය මිශ්‍ර පසේ තවත් එක් ස්වභාවයකි.
භාහිර ශරීරය ද්‍රව්‍යමය වශයෙන් ගත්තොත් මළකඳ කට සමාන කල හැකිය. මළකඳ පස් ගොඩකට සමාන කල හැකියි.

භාහිර ශරීරය = මළකඳ = පස් ගොඩක්

2. අභ්‍යන්තර ශරීරය.
මෙයට කියන නම මම හරියටම දන්නෙ නෑ. නමුත් මෙයට අපි වටහා ගැනීමේ පහසුවට විවිද නම් භාවිතා කරනවා. එනම් 'ආත්මය', ඉංග්‍රීසි බසින් 'SOUL' ලෙසද, අරාබියෙන් 'රූහ්' සහ 'නෆ්ස්'  ලෙසද හදුන්වනවා. තව එක එක නම් ඇති. 

ඔය අපි හදුන්වන සිත, ප්‍රාණය, පින් පව්, ඒ වගේම ආදරය, කරුනාව, සිතුවිලි වැනි දේ ක්‍රියාත්මක වෙන්නෙත් ඔය අභ්‍යන්තර ශරීරය සමගයි. ඔය එකක් වත් මලකදත් එක්ක සම්බන්ද නැති නිසා මෙය ඇත්ත කියලා ඔබට වැටහෙයි.

අපි හදුන්වන ආත්මය, සිත, පන, සිතුවිල්ල, ආදරය, කරුණාව ආදීයත් මගේ පුද්ගලික නිර්මාණ නොවෙයි. 

මම දන්න තරමින් මගේ ආත්මයත් මම හදාගත්ත එකක් නෙවෙයි.

ආදරය, කරුණාව කියන ඒවා මොන විදිහෙ සැලසුම් සහගත ව්‍යුහයන් තියෙන ඒවද කියල වත් 'මම කියා ගන්නා අපි කිසිවෙකුත් දන්නෙ නෑ'. 

සමහර ආගම් වල සඳහන් වෙනවා සිත තමාම හදා ගත්ත එකක් කියලා. එය හදන්න පටන්ගත්තෙ කුමණ අවකාශයේ සිටද යන්න සඳහන් වී නොමැත. අවකාශය ගැන ප්‍රශ්නය මතුවන්නෙ සිත විසින් අනිකුත් සියළුම දෑ පවා නිර්මාණය කරගත් බව ද සඳහන්ව තිබීමෙනි. 

සාමාන්යයෙන් මිනිසෙකුට තමා දන්න දෙයක් නිර්මාණ කරන්න පුලුවන්. නොදන්න දෙයක් වෙත දන්න දේවල් හරහා ගොස් ඒ නොදැන සිටි දෙය ගැන දැන, පසුව නිර්මාණ කරන්නත් පුලුවන්. (ඇත්තම කියනවානම් මිනිසා නිර්මාණ නෙවෙයි පරිවර්තනයි කරන්නෙ). සමහර විට මිනිසා යමක් නිර්මාණ කිරීමට උත්සහ ගැනීමේදී බලාපොරොත්තු නොවුනු ප්‍රතිපල/යක් ලැබිලා නව සොයාගැනීම් ඇති වෙනවා. නමුත් මිනිසාට නොපවතින තත්වෙක ඉදලා නොදන්න දෙයක් කොහොමත් නිර්මාණය කරන්න බෑ වගේම, එහෙම දේවල් ඉබේම හෝ නිර්මාණය වෙන්නෙත් නෑ. ඉතින් 'මිනිසාගෙ හිත මිනිසා විසින්ම හදා ගත්තා' කියන තර්කය මට පිළිගත නොහැක. ඔබත් සිතා බලන්න.  

එනිසා මට පිළිගත හැකි මට්ටමින් තියෙන නිසා මේ ලිපිය ඉස්ලාමීය අදහසුත් එක්කයි මම ලියන්නෙ. කියන දේ ගැන කල්පනා කර බලන්න.

දැන් බලන් යද්දි භාහිර සහ අභයන්තර යන ශරීර දෙකම මගේ නෙවෙයි.
දෙකම මගේ නිපැයුම් නොවෙයි. කොටින්ම කියනවා නම් ඔය දෙකම ගැන මම කියා ගන්නා අපට හරියට දැනුමක් වත් අය්තිවාසිකමක් වත් නෑ.

එහෙනම් මම කියන්නෙ කාටද?
දැන් ඔය විද්‍යාගාර වලම පිහිට පතන අයට වෙන්නෙ මෙය නොදැනගෙනම හිඳ මෙලොවින් සමුගන්නයි. මොකද ඔය දෙකම ගැන විද්‍යාව දන්න දෙයක් නෑ. ඔය දෙකම විද්‍යාගාර වල නිපදවන්නත් බෑ.
නමුත් එහෙම නිකම්ම මේ ලෝකෙන් සමු ගන්නෙ නැතිව මෙය යම් මට්ටමකින් හරි වටහා ගන්න උත්සහ ගමු.
මම පොඩි ක්‍රියාකාරකමක් ගෙන එය පහදන්න උත්සහ ගන්නම්.

බාබර් කෙනෙක් දැලි පිහියකින් වෙන කෙනෙකුගෙ රැවුල කපන කටයුත්ත ගැන ටිකක් විමර්ශනය කර බලමු.

බාබර් ජීවත් වෙන ලෝකය බාබර්ගෙද? නැත, එය එයාගෙ දෙයක් නෙවෙයි, ලෝකය එයාගෙ නිර්මාණයක් නෙවෙයි. 
සැලුන් එක තියෙන පොළොවත් බාබර්ගේ නෙවෙයි.
බාබර් භාවිතා කරන සියලුම ද්‍රව්‍ය වල මුලික අංශුත් එවායින් නිපදවූ උපකරණත් බාබර්ගේ නෙවෙයි.
බාබර්ගේ අත (ඇතුලුව භාහිර ශරීරය) ද බාබර්ගෙම ස්ව නිර්මාණයක් නොවෙයි. (මෙය ඉහත පෙන්වා දුන්නා). 
බාබර්ගේ අත සහ භාහිර ශරීරයම මේ ක්‍රියාවට භාවිතා කරන යාන්ත්‍රනයත්, එයට අදාළ වන ප්‍රෝටීන, විටමීන් වැනි ශක්තීන්ද ඔහුගේම නිර්මාණ නෙවෙයි.
බාබර් මේ සදහා භාවිතා කරන කාලයත් බාබර් ගෙ නෙවෙයි.
මේ රෑවුල කපා ගන්න ආපු කෙනත් බාබර්ගේ නෙවෙයි. 
එහෙනම් පැහැදිලිවම "මෙතන බාබර්ට අයි කිසිම දෙයක් නෑ".

බාබර් විසින් "මම තමයි බාබර්, මේක මගේ සැලුන් එක, මට රැවුල කපන්න පුලුවන්". කියල කිව්වට මෙතන බාබර්ට අයිති දෙකුත් නෑ. එයාට කරන්න පුලුවන් දේකුත් නෑ.

'කරන්න පුලුවන් දේකුත් නෑ'; කියන දෙයත් මම පෙන්වා දෙන්නම්. එනම්, මේතන තියෙන සියල්ල අයිති බාබර් නොව වෙනත් කෙනෙකුටය.

දැන්, බාබර්ගෙ ආත්මය, සිත, පන කියන ඒවා අරන් බලමු.

මේ ආත්මයත්, සිතත් බාබර්ගේ නිර්මානයක් නොවෙයි කියලා මම කලින් පෙන්වා දුන්නා.
නමුත් බාබර්ලා එක එක විලාසිතා අනුව රැවුල් කපනවා අපි දැකල තියෙනවා.

එහෙනම් මේ බාබර් කියන්නෙ කව්ද?
මෙයා මේ ලෝකෙට ආවෙ කොහේ ඉදලද?
මෙයා මොනවද කරන්නෙ?
මෙයා කොහොමද මේ වැඩේ කරන්නෙ?
කුමන හේතුවක් නිසා මෙයා මෙහෙම දෙයක් කරමින් ඉන්නවද?
ඊට පස්සෙ මෙයා මැරුණම කොහෙටද යන්නෙ?
බාබර් මේවා මොකුත් හිතන්නෙ නැතිව ඉදලා මලොත් මොකද තත්ත්වෙ?

ඔබේත් මගෙත් තත්වයත් එයමයි.

දැන් අපි මේ ගැන ටිකක් හොයල බලමු.
මේ බාබර්ට අයිති නැති මම ඉහත කී සියල්ල කෙසේ හෝ බාබර්ට ලැබිල තියෙනවා. (මේ කෙසේ හෝ ලැබුනා කියන දෙය පසුව සාකච්චා කරමූ). තම තමන්ගේ ඇදහිලි, ආගම් වලට අනුව මෙවා (කාලය, අවකාශය, ශක්තිය, වස්තූන්) කෙසේ බිහි උනාද කියලා තම තමන් හිතා ගන්න. ඉස්ලාම් දහමට අනුව මෙවා සර්වබලධාරී දෙවියන්ගේ නිර්මාණ ලෙස හදුන්වයි.

මේ බාබර් ඔහුට ලැබුණු අභ්‍යන්තර හා භාහිර ශරීර භාවිතා කරමින් රැවුල කපන කටයුත්ත කරනවා. 

දැන් තමයි අපිට "නියම බාබර් ව හදුන ගන්න" පුලුවන්.

බාබර්ට ලැබුණු ආත්මය තුල ඇති 'සිතින්' බාබර්ට යම් කිසි "නිදහස් සිතුවිල්ලක් ගැනීමේ අවස්තාවක් ඇති බව බාබර්ට වැටහෙනවා'.

මෙන්න මේ "නිදහස් සිතුවිල්ලක් ගැනීමේ අවස්තාව" පමනය් බාබර්ටම අයිති. 
බාබර්ට අයිතියි කියල කියන්නෙ හරියට ඉඩමක් ඔප්පුවකින් කෙනෙක්ට පවරා දුන්නම එය ඔහුට අයිති වෙනවා වගෙම දෙයක්. එහෙම අයිති උනා කියලා ඔහු එම ඉඩමේ නිර්මාතෘ වෙන්නෙත් නෑ. නමුත් ඔහු ඒ ඉඩම සම්බන්දයෙන් වගකීම් දරන්නා වෙනවා. නිර්මාතෘ තමාට අයිති කර දුන් නිදහස් සිතුවිලි ගැනීමේ අවස්තාවට හිමිකම් කියන්නෙත් අර ඉඩමට හිමිකම් කියනවා වගේ තමයි. එයයි ඔහුට අයිති. වෙන කිසිවක් ඔහුගේ නොවෙයිය. (මෙයට අනුව තමාට පවරා දුන් නිදහස් සිතුවිලි ගැනීමේ සීමිත අවස්තාව හැර වෙන කිසිවක් බාබර්ගෙ නෙවෙයි). බාබර් ලෙස පුද්ගලිකව හදුන්වා දෙන්න වෙන්නේ ඔය "නිදහස් සිතුවිල්ලක් ගැනීමේ අවස්තාව හා එය කිරීමට තමන් අදහස් කිරීම" නම් අපට නොපෙනෙන මේ අවස්තාවටයි..
ඔහුගේ වන්නෙ එය පමනයි.(එනම් 'මම' කියන්නෙ ඔය අවස්තාවටයි.)
ඔහු ව අපිට බාබර් කෙනෙක් ලෙස පෙනුනට, ඔහුට ඔහු බාබර් කෙනෙක් ලෙස හැඟුනට ඇත්තටම නම් ඔහු ඔහුගේ සිතුවිලි වලින් තම නිර්මාතෘගේ මහත් පරීක්ශනයකට ලක් වෙමින් ඉන්න අවස්තාවක් පමනයි මෙය.
දැන් ඔහු ඒ නිදහස් සිතුවිලි ගැනීමේ අවස්තාව ප්‍රයෝජනයට ගනිමින් අනිකුත් සියල්ල (උපකාර ලෙස, ඒවායේ නිර්මාතෘගෙන් ලබාගෙන රවල කැපීමට ඉදිරිපත් වෙනවා. ඔහුට ඔහුගේම භාහිර ශරීරයේ ඇති අත සොලවන්න වත් බැරි අසරනයෙක් බව ඔහුට වැටහෙනවා මොකද, ඒ අත පවා ඔහුගේ නොවෙයි. ඔහු ඒ සදහා එහි නිර්මාතෘගෙන් උදව් අරගෙන අත සොලවනවා.
දැන් ඔහු අදහස් කරන ආකාරයට (භාහිර ශරීරයේ නිර්මාතෘගේ උදව්වෙන්) දැලිපිහිය එහෙට මෙහෙට යවන්න තමගේ සිත ක්‍රියාත්මක කරනවා. ඔහුට පුලුවන් දැලිපිහිය අහවල් ස්තානයට ගෙනියනවා කියන අදහස ගැනීම පමනයි. එය ක්‍රියත්මක කිරීමට ඔහුගේ නොවන භාහිර ශරීරයෙන් උදව් අවශ්ය වෙනවා. මේ උදව් දෙන්නෙ භාහිර ශරීරයේ අයිතිකරුයි. ඔහුට පුලුවන් 'ඔහුගේ වෙන එකම දෙය වන නිදහස් සිතුවිලි ගැනීමේ අවස්තාව' උපයෝගී කරගෙන රැවුල කපනවාද බෙල්ල කපනවාද කියා තීරනය කරන්න. එම තීරනය පමනයි ඔහුට අයිති වෙන්නෙ. (බොහෝ මුස්ලිම්වරු ඕනෑම වැඩක් ආරම්භ කිරීමෙදී බිස්මිල්ලාහ් හෙවත් දෙවියන්ගේ නාමයෙන් ආරම්භ කරමි කියා පටන් ගන්නේ මේ නිසයි). ඔහුගේ සෑම ක්‍රියාවකටම තම නිර්මාතෘ ගේ උදව් අවශ්යයයි. ඔහු රැවුල කපන අදහස ගෙන එය ඉතාමත් අවන්කව තම නිර්මාතෘ පවා සතුටු වන ලෙස කලා නම් ඔහු එයට නිර්මාතෘගෙන් පින් ලබා ගන්නවා. ඔහුට එම නිර්මාතෘ දෙනු ලබන කුසල් මෙලොවදී පෙනෙන්නෙ නෑ. ඔහුට පෙනෙන්නෙ අර සේවාදායකයා දෙන මුදල පමනයි. නමුත් නිර්මාතෘ ඔහුව මෙලොවට එව්වේ මුදල් හම්බ කරන්න නොවෙයි. ඒ එක් එක් මාර්ග වලින් තම නිර්මාතෘගෙන් කොපමන කුසල් ලබා ගන්නවාද බලන්නයි. එය ඔහු වටහා ගෙන හිටියොත් ඔහු ඉතාමත් හොඳ දේ පමනක් කරාවි. එය හරියට වටහා නොගෙන හිටියොත් නරක දේවලුත් කරයි.
ඔහු රැවුල වෙනුවට වෙනත් කාරනාවක් නිසා ඔහුගේ සේවාදායකයාව මරන චේතනාවෙන් ඔහුගේ බෙල්ල කපුවා නම් බෙල්ල කැපුවේ නිර්මාතෘ නොව, ඔහුයි. ඔහු එයට උදව් පවා ගත්තේ නිර්මාතෘ ගෙනුයි. නිර්මාතෘ එයට උදව් කලේ එහි පසුබිම ගැන ඔහු සියල්ල් දන්නා නිසයි.  (මෙය වෙනම කතා කලයුතු දෙයක්. ලිපිය දිග වැඩි වෙන නිසා ඒ ගැන නොලියමී). නමුත් නිර්මාතෘ හමුවෙ බෙල්ල කැපූ "පව" උරුම වන්නෙ ඔහුටයි. (ඉස්ලාමයට අනුව ඔහු එයට විනිස්චය දිනදී හේතු ඉදිරිපත් කල යුතුයි). මොකද, තමන්ගේම නිර්මාතෘගෙන් උදව් අරන් නිර්මාතෘගේ තවත් නිර්මානයක් ඔහු ගේ චේතනාව මත විනාශ කලා. මෙය බරපතල වරදකි. නිකරුනේ ගහක කොලයක් වත් කඩා විනාශ නොකල යුත්තේ මේ නිසයි. එනම්, තමන්ගේ නිර්මාතෘගෙන් උදව් අරගෙන නිර්මාතෘගේ තවත් නිර්මානයක් වන ගහේ කොලය නිරපරාදෙ කඩා දැමීමට තමා හේතු වෙනවා. මෙය නිර්මාතෘ ගේ අමනාපයට හේතුවකි. එනිසා ඔහුට ඒ සම්බන්දයෙන් අකුසල් ලබා දෙනවා.
ඕනම සිතුවිල්ලක් ක්‍රියාත්මක කරන්න නම්. භාහිර වටපිටාවත්, භාහිර ශරීරයත් ආත්මය හා සිත නම් අභන්තර ශරීරයත් තමාට ලබා දුන් අයිතකරුගෙන් උදව් ලබා ගන්න වෙනවා.
ඔහුගේ අවසන් තීරනය මත ඔහු බෙල්ල කපන්න තීරනය කලා නම් එයට ඔහුගෙ නිර්මාතෘ (කැමැත්තෙන් හෝ අකමැත්තෙන්) සෘජුව හෝ වක්‍රව උදව් කර, ඔහු කල ක්‍රියාව පිනක් හෝ පවක් ලෙස ඔහුට භාර කරනවා. (මිනිසුන් හිතන හැම දේම ක්‍රියාත්මක කරන්න බැරි ඔහුට තම නිර්මාතෘගෙන් ඒ සදහා උදව් නොලබිමයි).


තම නිර්මාතෘ (හෙවත් දෙවියන්), යමක් කිරීමට යන පුද්ගලයා ට හතර ආකාරවලින් ප්‍රතිචාර දක්වනවා.  

ඔහු (එනම් නිර්මාතෘ හෙවත් දෙවියන්) කැමති දෙයක් කිරීමට මිනිසා අදහස් කලා නම් එය වෙන්න ඉඩ දෙනවා. සරල උදාහරණයකින් කියනවා නම්, දුප්පතෙකුට ආහාර වේලක් දෙන්න මිනිසා අදහස් කලා නම්, එම මිනිසාගෙ නිර්මාතෘ එයට කැමතියි, ඔහු එයට උදව් කරනවා. එය වෙන්න ඉඩ දෙනවා. පසුව එම සිතුවිල්ල ගැනීම, නිර්මාතෘගේන් උදව් ගැනීම හා එය ක්‍රියාත්මක කිරීම මත මිනිසා මත කුසල් ගොඩ ගහනවා.

සමහර විට දෙවියන් කැමති දෙයක් කිරීමට මිනිසා අදහස් කලත් නිර්මාතෘ එය වෙන්න ඉඩ දෙන්නෙත් නෑ. දුප්පතෙකුට ආහාර වේලක් දෙන්න මිනිසා අදහස් කලා නම්, එම මිනිසාගෙ නිර්මාතෘ එයට කැමතියි, ඒත් ඔහු එයට උදව් කරන්නෙ නෑ, එය වෙන්න ඉඩ ඉඩ දෙන්නෙ නෑ, සමහර අයට යහපත් දේවල් කරන්න හිතුනට එවැනි දේ කරගන්න බැරි වන අවස්ථා අපි දකිනවා.පසුව එම සිතුවිල්ල ගැනීම, නිර්මාතෘගේන් උදව් ගැනීමට උත්සහ කිරීම, හා එය ක්‍රියාත්මක කිරීමට උත්සහ කිරීම මත ඔහුට කුසල් ලබා දෙනවා.
දෙවියන් අකැමති දෙයක් කිරීමට මිනිසා අදහස් කලා නම් එහෙත් එය වෙන්න ඉඩ දෙනවා.
(උදා:- කිසියම් කෙනෙක් අදහස් කලා නම් තම නිර්මාතෘට බනින්නට, නිර්මාතෘ එයට අකැමතියි, නමුත් ඔහු එයට උදව් කරනවා, එයට ඉඩ දෙනවා, නමුත් මිනිසා මත පව් ගොඩ ගහනවා). මිනිසා දෙවියන්ට බැන්න කියලා දෙවියන්ට කිසිම හානියක් වෙන්නෙ නෑ, නමුත් එයින් මිනිසා මිනිසාටම හානි කරගන්නවා. ඇත්තටම දෙවියන්ට බනින අය කරන්නෙ දෙවියන්ගෙන්ම භාහිර හා අභයන්තර ශරීර ලබාගෙන දෙවියන්ම තමන්ට දුන් සීමිත නිදහසෙන් ප්‍රයෝජන ගෙන දෙවියන්ගේම උදව් අරන් දිව සොලවමින් දෙවියන්ටම බනින එකයි. දෙවියන්මයි ඔබට මේ වෙනුවෙන් පව් දෙන්නෙ. මේවා නොදන්න අය ඉතින් දෙවියන්ට බනිනවා. මේවට පිලිතුරු දෙන්න දෙවියො මේ ලෝකෙට එන්නෙ නෑ. පරලොවදි තමයි අල්ලගන්නෙ. එතෙක් අවස්ථාව දීල තියෙනවා.
දෙවියන් අකමැති දෙයක් කිරීමට මිනිසා අදහස් කලා නම් එය වෙන්න ඉඩ දෙන්නෙ නෑ. (සරල උදාහරනයකින් කියනවා නම්, මම මගේ නිර්මාතෘව ප්‍රතික්ශෙප කරමින්, එහෙම නිර්මාතෘ කෙනෙක් නෑ කියමින්, වෙනත් පුද්ගලය්න්ව නමස්කාර කරමින් මගේ නිදහස් සිතුවිලි ක්‍රියාවට නගන්නට ඔහුගෙන්ම උදව් ගනිමින් කාලයක් හිටියා. ඔහු එයට අකමැතියි. එනිසා එය දිගින් දිගටම වීමට මට උදව් කලේ නෑ. එය දිගින් දිගටම වෙන්න දුන්නෙ නෑ. (හේතුව මගේ සිතුවිලි මම වෙනස් කර ගත් නිසා දෙවියන් මට උදව් කරන්න ඇති කියලයි මම හිතන්නෙ). එනම් මම මගේ නිර්මාතෘව පිලි නොගෙන ඉන්න මට්ටමක ඉදන් පිලිගන්න මට්ටමකට ආවා. මෙයටත් ඔහු මා මත පින් ලබා දෙනවා.

මෙසේ මිනිසා තම භාහිර ශරීරය අතහැර මෙලොවින් පිටත් වෙනකම්ම ඔහුගේ නිදහස් සිතුවිලි ක්‍රියාත්මක කිරීමට අවස්ථා ලබා දෙමින් ඒ සදහා උදව් දෙමින් ඒවා පින් හෝ පව් ලෙස ඔහු මත ම ගොඩ ගසා අවසානයේ මොලෙව හැර ගිය පසු ඒවා ඔහුට ප්‍රතිවිපාක ගෙන දෙන ඒවා බවට පත් වෙනවා. 

ලිපිය දිග වෙන නිසා කෙටි සටහනකින් "මම කියන්නෙ කව්ද" කියලා නැවත සදහන් කරන්නම්.

"මම කියල කියන්නෙ එක්තරා නිර්මාණ කරුවෙකු (ඉස්ලාම් දහමට අනුව Allah) විසින් ඔහු අදහස් කල ආකාරයට හා ස්වරූපයකට කල එක් නිර්මාණයක්ය. 

එය අපට නොපෙනෙන චින්තන ස්වභාවයක් වැනිය .අප සතු වන්නේ ඒ චින්තන ස්වභාවයෙන් ස්වයංතීරණ ගැනීමේ එක් සීමිත අවස්ථාවක් පමනි. (මම වන්නෙ එයයි).  

එය සහිත ආත්මය මම නොදන්නා තැනක සිට (ඉස්ලාම් දහමට අනුව දෙවියන් නිර්මාණය කල ස්ථානයේ සිට දේව දූතයන් විසින් රැගෙන විත් එයට යම් ක්‍රමයක් හරහා එනම් කළලයක් ලෙස පටන් ගෙන භාහිර ශරීරයක් හා භාහිර වටපිටාවක්, එනම් ජීවත් වෙන්න පරිසරයක් ලබා දුන් පසු ඒ මත ක්‍රියාත්මක වී පින් හෝ පව් රැස්කර ගෙන වෙනත් අවස්ථාවක් දක්වා යන ගමනක යෙදෙන කෙනෙකි
ගමන කොහෙන් පටන් එන කොහෙන් අවසන් වෙනවාද නම්, නිර්මාතෘ වෙතින් ආ අපි (දැන් ගමනක් යෙදී ඉන්න අතර නැවත අපි) නිර්මාතෘ වෙතම යන ගමනයි මේ සිදුවන්නෙ. "ඔබ ගමනක් යන්න බසයට ගොඩ උනා නම් ඒ බසය ඔබේ නොවෙයි වගේ මේ ගමනෙදිත් ඔබේ නොවන දේ බොහෝය. ඔබේ නොවන දෙය වටහා   දීමයි මෙම ලිපියෙහි අරමුණ. 
මිනිසා ගේ හොඳ සහ නරක පමනක් ඔහු සමග ගමන් කර අවසානයේ තමන් මෙලොවදී උපයා ගත් දෙය මතම තමා ගේ ඉදිරි සදාකල් ජීවිතය ගොඩ නැගෙයි. 
එහිදීත් තමාට නැවත භාහිර ශරීරයක් ලබා දී මේ දෙක එක්ව සදාකල් ඉඳීමට බාහිර පරිසරයක් හා අවස්ථාවක් ලැබෙනවා. අපි කැමති උනත් නැතත් මෙයයි අපේ ඉරණම. වැඩි විස්තර සදහා දෙවියන් අපව නිර්මාණය කලේ ඇයි යන ලිපිය කියවන්න.
තමාවත්, තමා සිටින වටපිටාවත් නිර්මාණය කල ආකාරයත් නිර්මාණය කල අරමුනත්, එම අරමුන සාක්ශාත් කරගැනීමට තමා කෙසේ හැසිරිය යුතුද යන්නත් ගැන නිර්මාතෘ පනිවිඩ එවා ඇත. එයයි ඉස්ලාමීය පණිවිඩය. එය භාවිතා කිරීම හෝ නොකිරීමත් තමාගේ නිදහස් සිතුවිලි භාවිතා කිරීමේ අවස්ථාවට යටත් දෙයකි. 

ඉස්ලාම් දහමෙ විස්තර කරන ආකාරයට "මගේ ගමන මෙලෙසයි"

නිර්මාතෘ විසින් තමාව ශරීරයකින් තොර අවස්ථාවක් ලෙස අහසෙහි යම් ස්ථානයක නිර්මාණය කිරීම.

 එය දේව දූතයන් වෙතින් රැගෙන විත් මෙලොවෙහි මවකගෙ ගර්භාශයෙහි ඇති කලලයෙහි තැම්පත් කිරීම

මවගේ ගර්භාශය තුල එක්තරා ජීවිතයක් ගත කිරීම. (එය මෙලොවට වඩා හාත් පසින්ම වෙනස් ලෝකයක් වැනි තැනකි, අපට මෙලොවට වඩා හාත් පසින්ම වෙනස්ලෝක ඇති බව වටහා ගෑනීමට ගර්භාශ අවදියම හොද උදාහරනයකි).

භාහිර ශරීරයක් දී මෙලොව පරිසරයට මුදා හැරීම. එහිදී සිටිය යුතු ආකාරය ගැන උපදෙස් එවා ඇත. එයයි ඉස්ලාමීය පණිවිඩය.

මරනින් පසු භාහිර ශරීරය අතහැර ආත්මය පමනක් 'බර්සාහ්' නම් ස්ථානයක ජීවත් වීම.

යම් දිනක නිර්මාතෘ ගේ කැඳවීම ලැබුනු පසු අප සියල්ල ඔහු ඉදිරියේ සිට ගැනීම.

එදින අප මෙලොව කල දේ වලට ප්‍රතිපල ලබා ගැනීම.

මෙලොව දී නිර්මාතෘව ප්‍රතික්ශෙප කල අයව නිරයට සේන්දු කිරීම.

මෙලොව නිර්මාතෘව පිළිගෙන යහපත් ලෙස සිටි අයව ස්වර්ගයට සේන්දු කිරීම.

මෙලොව දී නිර්මාතෘව පිළිගෙන මුස්ලිමෙකු ලෙස හැසිරෙමින්, එහෙත්, අයහපත් දේ කර තිබුනා නම් ඒවාට වන්දි ලෙස සමාව හෝ දඩුවම් දී, (සමහර විට අපාගත කර) පසුව අවසානයේ ස්වර්ගයට සේන්දු කිරීම.

ඉන් පසු අපායට නියම වුවන් සහ ස්වර්ගයට නියම වූවන් දෙවියන් කැමති තාක් එහිම සිටීමට ඉඩ හැරීම.

මෙයයි අපේ ගමන...


by sjw

15 November 2014

මගේ ආගම කුමක්ද?

ඔබ සම්බන්දව නම් මෙම ප්‍රශ්නයට පිළිතුර ක්‍ෂණයකින් ඔබේ සිහියට නැගෙනු නොඅනුමානය. නමුත් මෙය නැවත ඔබ ඔබෙන්ම අසාගත යුතු ප්‍රශ්නයක් බව මම ඔබට ඉඟි කරමි.

මගේ ආගම - මගේ ඉරණමයි. 

එය තව දුරටත් විග්‍රහ කරනවානම්,

මම කව්ද?

මම මේ ලෝකෙට පැමිණියේ කොහේ සිටද? 

මම මෙලොව දී කුමක් කල යුතුද?

මම මෙලොවින් සමුගත් පසු යන්නේ කොහෙටද?

මේවාට පිළිතුරු සොයන්න මට තනියම පුළුවන්ද?

මෙලොව ඉන්න කාලය තුල මම අනුගමනය කල යුත්තේ කව්රුන් විසින් දේශනා කල ධර්මයද?

එම ධර්මය කාගේ දහමක් ද?  

එහි අන්තර්ගතය, උපදෙස් හෝ නියමය සෑම යුගයකටම, සෑම සමාජයකටම, සෑම සතා සිව්පාවටම, ඉර හද අහස පොලව ආදී සෑම දෙයක් සමගම සම්බන්ධද?

එම ධර්ම මූලාශ්‍ර වල නිරවද්‍යතාවය පිළිබඳව සහ ඒවායෙහි ආගමක් වශයෙන් සදහන් කරුණු පිලිබදව සෑහීමකට පත් වෙන්න පුලුවන්ද?

කිසිවිටකත් පිළිගත නොහැකි කරුණු පවා එම ධර්ම මූලාශ්‍ර වල අන්තර්ගතද? 

එහි මුල මැද අග ආදිය පිළිබද තියෙන අදහස් අපට දැනට තියෙන බුද්ධියට අනුව භෞතික සහ පාරභෞතික වශයෙන් පිළිගත හැකිද?

එම දහම සෑම පුද්ගලයෙකුටම වටහාගෙන ක්‍රියාවට නැගිය හැකිද? නැත්නම් එය බුද්ධිමතුන්ට පමණද?

මේ ආකාර වූ කරුණු පිළිබඳව මධ්‍යස්ථ කෝණයක සිට, පක්ශග්‍රාහී නොවී, හැගීම් වලට වහල් නොවී, පරාධීන නොවී විචාර බුද්ධිය මෙහෙයවල තීරණය ගැනීම මගේ වගකීම වේ. එය මා වෙනුවෙන් මම කරන මගේ පරම යුතුකම වේ.

අපි මිලදී ගන්නා හෝ උරුම කර ගන්නා ඉඩම් දේපල ආදිය ගැනීමේදීත් විකිණීමේදීත් හෝ උරුම කරදීමේදීත් අප එහි නිරවද්‍යතාවය පිළිබඳව කොතරම්ම සැලකිලිමත් වෙනවද කියා මදක් සිතා බලන්න. අපේ වැඩිහිටියෙක් අපට ඉඩමක් දුන්න පලියට අපි එය අරන් කිසිවක් සොයන්නේ බලන්නේ නැතිව පාවිච්චි කරනවද? අපි විසින් අපේ දරුවෙකුට ඉඩමක් දුන්නත්, දුන්න පලියට අපේ දරුවන් පවා එය භාරගෙන නිකම්ම පාවිච්චි කරනවද? නැහැ නේද? 

අපි හැමෝම එහි නිරවද්‍යතාවය පිළිබඳව සොයා බලනවා නොවේද? නීතීඥ උපදෙස් ගන්නවා, ඔප්පු පරික්ෂා කරනවා, පිඹුරුපත් පරීක්ශා කරනවා, තව බොහෝ දේ. එහෙම නේද? මෙවැනි උදාහරණ ඕනි තරම් අපේ මතකයට එනවා. එහෙත්,

ඇයි ආගම විතරක් නිකම්ම ගන්නේ?

ඇයි ආගම විතරක් නිකම්ම දෙන්නේ? සොයා බලන්න උවමනා නැද්ද?

ආගම නිකම්ම ගන්න හෝ නිකම්ම දෙන්න තරම් කිසිම වටිනාකමක් නැති දෙයක්ද?

අම්ම තාත්තා හින්දු නම් 'මැරෙනකම්ම මමත් හින්දු', 

අම්ම තාත්තා බෞද්ධ නම් 'මැරෙනකම් මමත් බෞද්ධ', එහෙමද?

අම්ම තාත්තා මුස්ලිම් නිසා "මමත් මුස්ලිම්",..... 

අම්ම තාත්තා (දැන හෝ නොදැන) පන්සල්, පල්ලි, කෝවිල්, දේවාල ගානේ ගිය නිසාද ඔබත් ඒවාටම යන්නේ? එහෙම නේද අද සමාජයේ බහුලව සිදුවෙන්නෙ?

ලොව පුරා බිලියන 7.8 ක් පමන වන ජනතාව භාෂාවල් 6800 කට වඩා භාවිතා කරන බවත්, අඩුවැඩි වශයෙන් ලොව පුරා මිනිසුන් ආගම් හෝ විශ්වාසයන් 4300 ක් පමණ අදහන බවත් මම අසා තිබෙනවා. 

මේ ලෝකේ ජිවත් වන මිනිසුන් අදහන ආගම් 4300 න් මගේ ආගම කුමක්ද? ඉන් බහුතරයක් අදහන ආගම් 5 ක් 6 ක් තියෙනවා.

විවිධ ආගම් සම්බන්ධ තොරතුරු ටිකක් පහතින් ඉදිරිපත් කර ඇත.  

තමන් 'හරියි' කියන ආගමත් එහි සඳහන්ව ඇත.

තම තමන්ගේ විශ්වාසයන්ට අනුව තමන්ගේ ආගම තමයි ඔතනින් සත්‍යයම ආගම. එවිට අනිකුත් ආගම් සියල්ල අසත්‍ය විය යුතුය. හේතුව නම්, ඔය ආගම් එකකට එකක් සර්ව සමව එකිනෙකට ගැලපෙන ලෙස මිනිසුන් පිළිගන්නේ නැති නිසා.

මේ ඔක්කොටම පායන්නේ එකම ඉරයි. තියෙන්නේ එක මහ පොලොවයි. හුස්මගන්නේත් එකම වාතයයි. ඉපදෙන්නේ එකම විදිහටයි. මැරෙන්නෙත් එකම විදිහටයි. එහෙමනම් මේ විශ්වයටම පොදු වූ එකම ආගමක් මිනිසුන්ට නැත්තේ ඇයි කියල හිතෙනවා නේද?

විශ්වය තුල තිබිය හැක්කේ එකම එක සත්‍යයයක් පමණක් නිසාත් මිනිසුන්ද එම විශ්ව සොබා දහමෙහිම කොටසක් වන නිසාත් මිනිස් සිත් මත පරස්පර අදහස් දරමින් ඔවුන් වෙන් වෙන්ව එකිනෙකට වෙනස් ආගම් පිළිගන්නවා නම් ඒ ගැන තවපාරක් හිතන්න වෙනවා නේද ?

පහත තොරතුරු දෙස හොඳින් බලන්න.

RELIGIONS  MEMBERSHIP  PERCENTAGE

Christianity -  2,039 m - 32% (dropping)

Islam -            1,570 m - 22% (growing)

Hinduism -      950 m -   13% (stable)

No religion -    775 m -  12% (dropping)

Chinese folk religion - 390 m - 6%

Buddhism -      376 m -   6% (stable)

Tribal Religions, Shamanism, Animism - 232 m - 4%

Atheists -          150 m -   2% 

New religions - 103 m -  2%

Sikhism -         23.8 m -   1%

Judaism -         14.5 m -   1%

Spiritism -         12.6 m -   1%

Baha'i Faith -      7.4 m -   1%

Confucianism -  6.3 m -   1%

Jainism -            4.3 m -   1%

Zoroastrianism -2.7 m -   1%

Shinto -              2.7 m -   1%

Taoism Note 4-  2.7 m -   1%

Other -                 1.1 m -   1%

TOTAL -      6663 million

අද ඔබ ගමන් ගන්නා මාර්ගය හෙවත් ඔබගේ ආගම ඔබ විසින් තෝරා-බේරා ගත්තේ කොහොමද? 

අපි පාසල් යද්දීත් ඉගන ගැනීමට ආගම් කිහිපයක් තිබුණා. විවිධ ආගම් අදහන දෙමාපියන්ගේ දරුවො වු කුඩා අපි කිසිම තර්කයක් නැතිවම තම තමන්ගෙ දෙමාපියන්ට උරුමව තිබූ දහම උගන්නන පන්තිවලට විතරක්ම යන්න පුරුදු උනා. විවිධ ආගම් අදහන දෙමාපියන්ගේ සෑම දරුවෙක්ම කළේ එකම දෙයමයි.

නමුත් ආගම් කිහිපයක් අවේ කොහෙන්ද, මොකද, කින්ද මන්ද කියල කිසිවෙක් කුඩා අපිට කියා දුන්නෙ නෑ. අපිත් ආගම විෂය තිබුන වෙලාවට වෙන වෙන පන්ති කාමරවලට ගිහින් ඉබේම වගේ තම තමන්ගෙ දෙමාපියන් තෝරාගෙන තිබුණු ආගමම ඉගන ගෙන නැවත අපි සියල්ල එකම පන්තියට අවා. අද අපේ දරුවෝ කරන්නෙත් ඔය ටිකම තමයි. 

සමහර පාසල් වලත් සමහර රටවල් වලත් තනිකරම උගන්නන්නෙ එකම එක ආගමක් විතරයි. කුඩා ලමුන්ට මෙය වටහා ගන්න බෑ. අවාසනාවකට මෙහි බරපතලකම වැඩිහිටියන්ට වැටහෙන්නෙත් නෑ.

අම්මල තාත්තලට විවිධ ආගම් ගැන හොයන්න වෙලාවක් හෝ උවමනාවක් තිබුනෙත් නෑ. හැමෝම තම තමන්ට පරම්පරාවෙන් උරුම වූ ආගම සත්‍ය කරගෙන හිටියා. 

පන්සලට ගියාම හාමුදුරුවරු ඔවුන් විශ්වාස කරන ඔවුන්ගේ එම දහම තමය් නිවැරදිම දහම කියා උගන්වන විට පල්ලියට ගියාම ඔවුන් ඒ දහම තමයි නිවැරදිම දහම කියාත් උගන්නනවා. පන්සලට විතරක්ම යන අයට පල්ලියේ උගන්නන දහම ගැනත් පල්ලියේ උගන්නන දහමම ඉගන ගන්න ළමයට පන්සලේ උගන්නන දහම ගැනත් අවභෝදයක් නෑ.

අපිට කොහේ හරි වැරදදීලා කියල මෙතැනින්ම හිතෙන්නේ නැතිද?

මම දන්නා නොදන්නා හිතවතුනි,

අපි තනියමයි ඉපදුනේ. අපි මැරෙන්නෙත් ඉන් පස්සේ වෙනදේට මුහුණ දෙන්නෙත් තනියමමයි.

එක් එක්කෙනා දිහා බලලා ආගම් තීරණය කරන්න එපා. අර ආගම් කාරයෝ මරාගන්නකොට මේ ආගම් කාරයෝ මල්පූජා කරනවා කියා එතැනින් නතරවී තීරණ ගන්නත් එපා. එය ආගමක් හඳුනාගැනීමට කරන නිවැරදි මිම්මක් නොවෙයි. අද සමාජය තුල ආගම් දේශපාලනික කුමන්ත්‍රන වල ට කොටු වී ඇත. එනිසා මිනිසුන් දිහා නොව ශුද්ධවූ ධර්ම මූලාශ්‍ර දෙසම බලන්න.

ඔබ බසයකට නැගල දීර්ග ගමනකට පස්සේ කියන්න එපා "අපි යමින් ඉන්න බස් එක නම් හොඳයි, රියදුරුත් හොඳයි, පාරත් හොඳයි, ඉතුරු ටිකත් ඔහොමම යමු" කියල.

බලන්න නැගල තියෙන බස් ඒක හරි එකද කියල.

ඒක ඇවිත් තියෙන්නේ හරි පාරේද කියලත් බලන්න.

අපිට වැරදිලා තිබුනොත්, සමහරවිට නැවත කාලය මදි වෙන්නත් පුළුවන් අපේ  නිවැරදි ගමනාන්තය කරා සේන්දු වෙන්නට. සමහර විට අපේ මෙම නොසැලකිලිමත් කම නිසා මරණින් මතු අප සදාකල් අභාග්‍යවන්තයින් විය හැක. එනිසා මරණයට පෙර ඉක්මනින් නිවැරදි මාර්ගට පිවිස අධික ලෙස කුසල් රැස් කරගන්න. මෙලොවත් පරලොවත් ජයගන්න. එයයි අපේ මෙලොව පරම පරමාර්ථය විය යුත්තේ.

ඒ නිසා තමන්ගේ ආගම ගැනත්, අනිකුත් ආගම් ගැනත් නිවැරදි කරුණු, නිවැරදි පුස්තක පරිශීලනය කර හොයල බලන්න කියල මම ඔබලාට ආරාධනා කරනවා. සත්‍යය වටහා ගන්න මහා පොත් ගොඩක් කියවන්නම ඕනි නෑ. (කැමති නම් "විශ්ව දහම සරළව තේරුම් ගනිමු" යන මැයෙන් මා ලියූ ලිපිය කියවන්න).

ඔබට සිතුවමක සබැ ලස්සන දැක ගන්න ඕනිනම් ඔබ මදක් සිතුවමින් ඈතට ගිහින් බලන්න. ආගම් දිහාත් චුට්ටක් ඒ විදිහට බලන්න. එවිට සත්‍යය වටහා ගන්න අපහසු නෑ.

මම මුලින්ම මට හුරුවූ ආගම තුලම නතර වී එයමයි පරම සත්‍යය කියා විශ්වාස කරමින් එතුල පමනක් සිටියා. රැකියාව වෙනුවෙන් මම මට පුරුදු පරිසරයෙන් ඈත් උනාට පස්සේ මට මගේ ආගම තුල ඉන්න ගමන් නව පරිසරයත් එක්ක මට වෙතත් ආගම් ගැනත් අධ්‍යයනය කර බලන්න අවස්ථාවක් ලැබුණා. ඉන් පස්සේ මම දැඩිව ග්‍රහණය කර සිටි මගෙ සුපුරුදු දහමින් තාවකාලිකව ඉවත් වී කිසිම දහමක් නැති කෙනෙකු ගෙ තැනට පත් වෙලා එතැන ඉදන් සත්‍යය දහම කුමක්දැයි වටහාගන්න උත්සහයකට මම පියවර තිබ්බා. ආගම් කිහිපයක් ගැනම අධ්‍යනය කලා. මිනිසුන්ගෙ හැසිරීම්  මායිම් නොකර දහම් කරුණු කෙරෙහි පමණක් අවධානය යොමු කලා. එවිටයි මට වැටහුනේ විශ්ව දහම කියන්නේ මොකක්ක්ද, සොභා දහම කියන්නේ මොකක්ද, මට උරුම දහම මොකක්ද කියල. 

එහි ප්‍රතිඵලයක් ලෙස අවසානයේ මට මා කවදත් ආදරය කල බුදුන් වහන්සේ කෙරෙහිත්, අපි අසා සිටි ජෙසු තුමා කෙරෙහිත්, මොහම්මද් නබි තුමා කෙරෙහිත්, සොබා දහම කෙරෙහිත්, ඒ සියල්ල නිර්මාණය කල (එහෙත් මෙතුවක් කල් නොදැන සිටි) විශ්වයේ මහා මැවුම්කාරයාණන් කෙරෙහිත් ඇතිවුනේ ඉමහත් භක්තියකි, ආදරයකි, ගරුත්වයකි.

ඔබත්  ආගමික මූලාශ්‍ර දෙස මිස පුද්ගලයන් දෙස නොබලන්න. 

සියලු දෙනාටම සත්‍ය දහම හඳුනා ගැනීමට හැකි වේවායි කියා ප්‍රාර්ථනා කරමි.


by: sjw

22 August 2012

ඔබේ මෙලොව සංචාරය !!!


Your journey in this life !!! 
"ඔබේ මෙලොව සංචාරයේ අරමුණ සහ පරලොවෙහි ස්වභාවය කුමක් ද" යන්න පිළිඹදව ඔබට නියම වැටහීමක් නොමැතිව ඔබ දවසින් දවස ගෙවා දමන්නේ නම්, ඔබ ඔබ පිළිබඳවම පසුවට පසු තැවෙනු ඇත.

අපි මෙලොව ජිවිතයේ අරමුණු කොට සළකා සීමා මායම් දමාගෙන සිටින පහත කරුණු දෙස බලන්න.

නිවසක්, වාහනයක්, රැකියාවක්, හොද ආදායමක්, හොද දරු පව්ලක්, හොද මානසික සැනසිල්ලක්, හොද ජිවිතයක් ආදිය සළකා බලමු.

අපි හිතමු මේ සියල්ලම හොදටම තිබුනා කියල. වැඩිය එපා, ජනාධිපතිකමක්ම ලැබුණා කියල හිතමු.

මේ සඳහා ද මෙලොවට අපි පැමිණියේ ?

19 August 2012

"නැවත හැරීම" යනු කුමක්ද ?



What does "reverts" mean?

'නැවත හැරිම' යනු කුමක්ද කියා පැහැදිලි කිරීමක් කරනවානම්, මෙය මගේ ඉරණම සම්බන්දයෙන් සිදුවූ සුවිශේෂම අවස්ථාවයි. මෙය ඔබටද පොදු විය හැක. එනිසා මෙ පිළිබඳව ඔබවත් දැනුවත් කිරීමට අදහස් කලෙමි.

මෙයට 'ආපසු හැරිම' ලෙසින්ද කිව හැක. 'ආපසු හැරීමක්' නිසා සම්පූර්ණයෙන්ම සිදුවූ හැරීමක් බවත් 'නැවත හැරීමක්' නිසා 'පෙර සිටි' තත්වයකට 'නැවත පැමිණීමක්' බවත් අදහස් වෙනවා.

කුමක්ද මේ පෙර සිටි තත්වය?

මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්.

ඔබ මවගේ කුසෙන් බිහිවන විට ඔබ බොහෝ දේ රැගෙන ආවා නේද? පෙනීම, ඇසීම, ඔබට හිමි ජාන ආදී බොහෝ දේ.
ඒ සමග ඔබ රැගෙන ආ ආගම කුමක්ද? 
ඔබ ආගමක් රහිත කෙනෙක් වශයෙන්ද ඉපදුනේ?

මදක් නිශ්ශබ්දව සිතා බලන්න.

අතදරු ඔබව ඔබේ මව නිවසට ගෙනවිත් ඇයට සුපුරුදු දහම ඔබට කියා දුන්නා. ඔබ ඒ ගැන අද සතුටු වෙනවා ඇති. ඔබ හිතනවද කෙනෙකුට නිවැරදි ආගම ලැබෙන්නේ ඒ ආකාරයට කියල;
ඔබ දන්නෙත් නැතුව කුඩා කාලෙම වෙනත් ආගමක කෙනෙක් ඔබව සොරකම් කරගෙන ගොස් තිබුණා නම් අද ඔබේ ආගම කුමක්ද? ඔබ අද ප්‍රතික්ෂේප කරන වෙන දහමක කෙනෙක් වෙලා නේද? එවිට ඔබ එම ආගම සත්‍යයයි කියමින් හඩ නගාවි නේද? 

මේ දෙකටම වඩා වෙනස් පහත අවස්ථාව බලන්න.

ඔබට කිසිම දහමක් නොවැටහෙන වයසේදී ඔබව කැලෑවක අතරමන් උනා නම්, අද ඔබේ ආගම කුමක්ද?
එවිට ඔබ අදහන්නේ ඔබ ඉපදෙනවිට රැගෙන ආ ඔබටම හිමි ඔබේම ස්වාධින ආගම නොවේද?
ඔබ ඔබේ පපුවට තට්ටු කරලා අහන්න, ඔබ කුමන ආගමක් ඇදහුවත්, කුමන රූපයකට දණගහල වැන්දත්, ඔබට මහත් ව්‍යසනයක් අනතුරක් අසරණකමක් ඇතිවූ විට ඔබේ ඇතුලාන්තයෙන්ම කතා කරන්නේ කාටද කියල. 

ඔබ පිහිට ඉල්ලන්නේ කාගෙන්ද කියල ඔබ ඔබෙන්ම ප්‍රශ්න කර බලන්න. 

ඔබ 'දෙවියන්ව' අමතනවා කියා මම කිව්වොත් ඔබද එයට එකඟ වනු ඇත.

මම සත්‍ය සිදුවීමක් මතක් කරන්නම්. විදෙස් රටක වූ සිදුවීමක්.

එක්තරා උපාධිධාරී සිසුන් කිහිපදෙනෙකුව කැදවා තිබුණා යම් කිසි ආයතනයක විශේෂ වැඩමුළුවක් සඳහා. ඔවුන් පිරවූ අයදුම් පත්‍ර වල ආගම සදහන් ස්ථානයේ සුළුතරයක් හැර වැඩි දෙනෙක් සදහන් කර තිබුනේ 'තමන්ට කිසිම ආගමක් නැහැ' කියල. ආගමක් නැහැ කියූ අයට පහතින් ගමන් කරන කුඩා ගුවන්යානයකින් යන සංචාරයකට අවස්ථාවක් ලබා දුන්නා. 

එහි ගුවන් නියමුවාට උපදෙස් දුන්නාලු මෙහෙම; 'ඔබ ටික දුරක් ගොස් ගුවන් යානාව තමාට පාලනය කල නොහැකි බව පවසා බය හිතෙන විදිහට එහෙට මෙහෙට හරවා හරවා පදවන්න. තව ටික දුරක් ගොස් තමාට නැවත එය පාලනය කල හැකි බව පවසන්න. ඉන් පසු නැවත සියල්ල කැඳවාගෙන එන්න.' කියලා.

ඔහුට ලැබුනු එම උපදෙස් පරිදිම ඒ දේ ඒ විදිහටම සිදුවුනි.  

පසුව ඒ සියල්ල තේ පැන් සංග්‍රහයකට කැඳවා තිබුණි. ඔවුන්ට වීඩියෝ පටයක් පෙන්වන්නටද විය. 

පුදුමයකි! ඉහත දී තමන් මුහුණ දුන් මාරාන්තික අවස්ථාවේ වීඩියෝ පටයක් දැන් ඔවුන්ට නැරඹීමට අවස්ථාවක් ලැබී ඇත. 

ඔවුන් එම අවස්ථාවේ කෙසේ හැසිරුනේදය් ඔබට හිතා ගත හැකිද? ඔබ එහි හිටියානම් ඔබේ තත්වය කුමක්ද? සිදුවූ දේ ඔබට පැහැදිලි යැයි සිතමි.

අහසෙදී ඔවුන් සියල්ල මෙසේ මරහඩ දෙන්නට විය. 


අනේ දෙවියනේ මට උදව් කරන්න..../// 

අනේ දෙවියනේ අපට උදව් කරන්න..../// 

අනේ දෙවියනේ අපව බේර ගන්න...../// 

සියල්ලගෙන්ම ඉවරයක් නැතුව මෙයම ඇසෙන්නට විය.

ඉන් පසු "ගුවන් යානාව පාලනය කල හැකි" බව ඇසු සැනින් ඔවුන් දෙවියන් ට ස්තුති කරන්නටද විය.

දැන් සංවිධායක මඩුල්ල ඔවුන් ගෙන් ප්‍රශ්න කරනවා මේ සම්බන්ධයෙන්.

"ඔබලාට ආගමක් නැහැ කියලා නොවේද ඔබල සියල්ල ඔබලාගේ අයදුම් පත්‍ර වල සදහන් කලේ? කාටද ඔබ කතා කලේ, කාගෙන්ද උදව් ඉල්ලුවේ?" .. 

එවිට ඔවුන් සියල්ලගේම පිළිතුර උනේ..

'අපි දන්නේ නැහැ, අපි නොදැනුවත්වම එය අපි තුලින්න්ම එලියට ආපු දෙයක්, අපේ ඇතුලාංතයෙන්මයි අපි දෙවියන්ව ඇමතුවේ'.

මුලින් "ආගමක් නැහැ" කියූ අයගෙ ශරීරය ඇතුලේ, ආත්මය ඇතුලේ තිබූ තමන්ගෙම ආගම එලියට ආපු විදිහ ඔබ දුටුවා ද? ඔබේ ඇත්ත තත්වෙත් එයම තමයි. 

මගේ සහෝදරවරුනි!

අද මම 'නැවත හැරී' සිටින්නේ එම දෙවියන්ගේම මාර්ගයටයි..

මම අද අනුගමනය කරන්නේ ඔහුගේ දහමයි. ඔහු 'අල්ලාහ්' ම බව (එනම් තමාගේම නිර්මාතෘ බව) 'ශුද්ධ වූ කුරානය' කියවුවොත් ඔබටද වැටහෙනු නොඅනුමානයි.

අල්ලාහ් අපට පවසනවා, අප ඉපදෙන්නට පෙරම ඔහු තමාගේ දෙවියන් අල්ලාහ් බවට පිලි ගන්නව කියලා අපෙන් තනි තනිව පොරොන්දුවක් ගත් බවත්, පසුව ඒ පිලිගැනීම අපේ මනස තුලට ද කාවද්දල දෙවියන් නැමදීමේ ස්වභාවය සෑම මනුෂ්‍යයෙකු තුලම ස්ථාපනය කරලා ඉන් පසුවයි අපව මේ ලෝකෙට එවල තියෙන්නෙ කියලා.

ඒ ස්වභාවය නිසා තමයි මිනිසා නැමදීමේ කටයුත්තේ නිරත වන්නේ. භාහිර පරිසරයෙන් ඔහුගේ මනස විකුර්ති නොවුනානම්, ඔහු අනිවාර්යයෙන්ම නමදින්නේ තම නිර්මාතෘ (අල්ලාහ්)ටමය. අල්ලාහ් (හෙවත් තමාගේ නිර්මාතෘ) දෙවියන්ට නොනැමද වෙනත් වෙනත් පුද්ගලයන්ට හෝ වස්තූන්ට නමදින්නට මිනිසා පෙලඹෙන්නේ ඔහුට ඔහුගේ වටපිටාවෙන් ලැබුණු ආදර්ශය හා උපදෙස් නිසයි. එයට පළමුව වගකිව යුත්තේ හරියට හොයන්නේ බලන්නේ නැතුව අපට ගුරු හරුකම් දුන් අයයි. දෙවනුව තමාගේ මනස උපයෝගී කර ගන්නේ නැතුව අන්ධයන් මෙන් අනුන් කියන සැම දේම සත්‍යයයි කියා පිලිගත්ත තමාමය.

මිනිසා, නැමදීම හෙවත් උපරිම ගරුත්වය පිදිය යුත්තේ තම නිර්මාතෘ (දෙවියන්)ට පමණක්ම බව දෙවියන්ම පවසයි. ඔහු මානවයාව එතරම්ම උසස් කොට සළකා ඇත. දෙවියන්ට සමාන වෙන කිසිවක් හෝ ඇත්නම් එයට හිස නැමීමට හෙවත් උපරිම ගරුත්වය පිදීමට මිනිසාට අවසර ඇත. දෙවියන්ට සමාන නොවන මොනම බලගතු කෙනෙකුට හෝ දෙයකට හෝ වේවා මිනිසා නොනැමදිය යුතුයි. එයයි මිනිසාගේ නිර්මාතෘගේ නියමය. එසේ අන කලත් එම දෙවියන්ම පවසනවා 'මිනිසා ඔහුව නැමදීමෙන් ප්‍රයෝජනය ඇත්තේ මිනිසාටම බවත්'.

අල්ලාහ් ශුද්ධ වූ කුරානයෙන් අපට පවසනවා ඔහු ගැන. ඔහු කෙඹන්දයෙක්ද යන්න පිළිඹදව. 

ඔබට පුරුදු ඔබ නමදින දෙවියෝ කියන කිසිවෙක් අල්ලාහ් මෙන් ඔබව කුමන ආකාරයකට හෝ අමතා තිබේද? ඔවුන්ගේ ස්වරූපයන් දෙවිකෙනෙකුට සමකල හැකිද?

හැන්ද පුටුවට සමාන නැත. පුටුව කුකුළාටද සමාන නැත. කුකුළා කොටියටද, කොටිය මිනිහටද සමාන නැත, මේ කිසිවක් දෙවියන්ටද සමාන නැත. ඔබ පන්සල් පල්ලි කෝවිල් ආදිය තුලින් දෙවිවරු ලෙස දකින එක රූපයක්වත් දෙවියන්ගෙ යැයි පිලිගත නොහැක. එම රූප තනිකරම මිනිසා මනඃකල්පිත කරගත් ඒවාය.

මහා බ්‍රහ්මයාගේ යැයි කියමින් සමාජයට රූප හෝ පිලිම වලින් පෙන්වා දී ඇති ස්වරූපය දෙස බලන්න. ඒ රූපය විශ්වයේ නිර්මාතෘ ගේ ස්වරූපය යැයි පිළිගත හැකිද? අල්ලාහ් පවසනවා 'ඔහුට සමාන කිසිවක් නැහැ' කියලා. මිනිසාගේ සම්පූර්ණ තොරතුරු අන්තර්ගත, පසුව මිනිසෙක් දක්වා වර්ධනය කරවන ඉතා කුඩා ශුක්‍රාණු ඒක සෛලයේ නිර්මාපකයාද, මහා විශ්වයේ නිර්මාපකයාද වන අල්ලාහ්ගේ දෑත (මිනිසා මනංකල්පිත කර ඇඳ ඇති) මහා බ්‍රහ්මයාගේ රූපයේ තියෙන දෑත වගේ විය හැකිද?

අල්ලාහ් වෙනුවෙන් රූපයක් පිළිමයක් නිර්මාණය කල හැකි කෙනෙක් මේ මිනිස් සමාජයේ ඉදීවිද? දෙවියන්ගේ හැඩරුව ගැන මිනිසාගේ කුඩා මොලයට ගෝචර වෙයි කියා ඔබ හිතනවාද? ඔහුගේ නිර්මාණ දෙස බලා ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය වටහාගෙන ඔහුව නිසි අයුරින් පැසසුම් කරන්න. බොරූ රූප වලට රැවටෙන්න එපා.

අල්ලාහ් පවසනවා තමා ස්වාධින බව. කිසිඳු අවශ්‍යතාවයක් නොමැති, ඔහුට හුස්ම ගැනීමට වාතයද, ආහාරද අවශ්‍ය නැති බව ඔහු පවසනවා. මේ විශ්වය පාලනය කිරීමේදීත්, නඩත්තු කිරීමේදීත් ඔහුට වෙහෙසක් ඇති නොවන බවත් ඒ සදහා කිසිවෙකුගේ සහාය අවශ්‍ය නොවන බවත් ඔහු පවසනවා. ඔහු ඔහුට සිතු දේ කිරීමට තරම් බලසම්පන්න බවත් පවසනවා. ඔහුට මවෙක් පියෙක් හෝ දරුවන්ද නොමැති බවත් එවැනි දෙය්න් ඔහු පාරිශුද්ධ බවත් ඔහු පවසනවා. මේ විශ්වයේ දෙවි වරු දෙදෙනෙක් වත් නොමැති බවත් දෙදෙනෙකු හිටියානම් මෙම විශ්වය අවුල් වියවුල් වන්නටද ඉඩ ඇති බවත් ඔහු එක්කෙනෙක්ම පමණක් බවත් යලි යලිත් කුරානය තුලින් ඔහු අපට මතක්කර දෙනවා. 

ඔහු සියල්ල අසන බවත්, ඔහු සියල්ල දකින බවත්, ඔහු සියල්ල කෙරෙහි දැනුවත්ව සිටින බවත් අපට සිහි ගන්වනවා. ඔහුට නොදැනුවත්ව ගසක කොලයක් හෝ බිමට නොවැටෙන බවත් ඔහු ආහාර සැපය්මේ වගකීම නොගත් කිසිදු ජීවියෙකු මිහිමත නොමැති බවත් ඔහු පවසනවා. මුළු විශ්වයම ඔහුගේ අණට යටත් බවත් ඔහු පවසනවා. ඔහු අපට මහත් භාග්‍යමත් ජිවිතයක් දුන් බවත් ඔහු අපට මහා කරුනාවන්තයෙක් වශයෙන් සිටින බවත් පවසනවා. ඔහු සියලු ලෝකවලට අධිපති බවත්, විනිශ්චය දිනයේ රජු බවත් එහිදී කිසිවෙකුට අබමල් රේණුවක තරම් අසාධාරණයක් නොකරන බවත් පවසනවා. ඔහු දයාලු වන්තයා වශයෙන්ද සමාව දෙන්නා වශයෙන්ද සිටින බවත් පවසනවා. යහපත් විශ්වාසවන්තයන්ට ස්වර්ගය පිරිනමන බවත් ඔහුව ප්‍රතික්ෂේප කරන්නන්ව නිරයට දමන බවත් ඔහු පවසනවා.

ඔහු පැහැදිලි සාක්ෂි සහිත පුස්තකයක් (Al Quran) මගින්ද පැහැදිලි සාක්ෂි සහිතව පැමිණි අවසන් නබි වරයා (Mohammad ﷺ)  හරහාද මිහිමත තම දහම සම්පුර්ණ කල බවත් ඔහුගේ දහමට පිටින් යන කුමන දහමක් වත් ඔහු පිළිනොගන්න බවත් පවසනවා. පුලුවන්න්නම් ඔහුගේ නබි වරයාවත් පුස්තකයත් බොරු කර පෙන්වන්නැයි කියා 'වෙනත් ආගම හරිය කියන අයට' අභියෝගද කර තිබෙනවා. එම අභියෝගය ඔබ ඉදිරියේද තිබෙනවා.

මම නැවත - (ආපසු) හැරුනේ මගේ එම දහම වෙතයි. කිසිම පුද්ගලයෙකුට අයිවාසිකමක් කිව හැකි ආගමක් නොවෙයි එම දහම. එය කිසිම පුද්ගලයෙක් දෙසු දහමක් නොවෙයි. එය මේ විශ්වයටම පොදු දහමයි.

විශ්වයේ මැවුම් කරු ඉතා පැහැදිලි සාක්ෂි සහිතව ශුද්ධ වූ අල් කුරානය මගින් අපට පවසා තිබෙනවා ඔහු අපගේ මැවුම් කරු බවත් ඔහු අපට අනුමත කල දහම මෙම විශ්ව දහම පමණක්ම බවත්.

අපිට යමක ඉතාම පැහැදිලි සාක්ෂි තිබෙනවානම් එය පිළිගන්නට අපි සුදානම්.

ඉතින් කුරානය තුලින් පැහැදිලි සාක්ෂි තියෙද්දිත් එය පිළිනොගෙන ඉන්නේ ඇයි කියන ප්‍රශ්නය මතු නොවන්නේද? ඔබට පුලුවන්ද ඔබ හරියි කියන ආගම පිළිගන්නට තියෙන පැහැදිලි සාක්ෂි කිහිපයක් පෙන්වා දෙන්නට?  සාක්ෂි නැතුව 'පාර භෞතික' කරුණු විතරක් කෙරෙහි විස්වාසය තියන්නද ඔබ අදහස් කරන්නේ?  ශුද්ධ වූ කුරානය ගැන ඔබ නොදන්නවානම් ඔබට මගේ තීරණය ගැන පැහැදිළි අවභෝධයක් ගන්න බැහැ. නමුත් ඔබට එක කරුණක් පැහැදිළි වෙයි. ඔබ නිවැරදියි කියන (විශ්වයේ නිර්මාතෘ ගේ නොවන) දහම සත්‍යයි කීමට තියෙන පැහැදිලි සාක්ෂි මොනවද කියල සොයා බැලීම තමාගේම ණුවනට හුරු කරුණක් බව. ඔබට තනියම හිතා ගන්න බැරිනම් ආගමික විද්වතුන්ගෙන් ඉල්ලා සිටින්න 'ආගම විශ්වාස කිරීමට පැහැදිලි සාක්ෂි කිහිපයක් ධර්ම පුස්තක වලින් උපුටා පෙන්වන ලෙස'. 

මදක් සිතා බලන්න කියා මම ඔබට යෝජනා කරනවා.
sjw

07 July 2012

මොහම්මද් නබි (ﷺ) තුමා කව්ද ?




Who is Prophet Muhammad?

අපි එදිනෙදා විවිධ අවස්ථාවල විවිද පුද්ගලයන්ව සිහිපත් කරනවා. වැඩිවශයෙන් බෞද්ධයන් බුදුන් වහන්සේවද, කිතුනුවන් ජේසු (ඊසා අලෙය්) තුමාවද, මුස්ලිමුන් මොහම්මද් නබි () තුමාවද, සමහරු ක්‍රිකට් ක්‍රීඩකයන් වද, සමහරු නළු නිලියන්වද, රූපවාහිනී ගුවන් විදුලි පුවත්පත් වල නම් එදිනෙදාට ගැලපෙන අයුරින් විවිධ චරිතද ඉස්මතු කරලා සිහිපත් කරනවා.

වර්තමාන ලොවේ ජනගහනයෙන් අති මහත් ජනතාවක් මෙතුමාව අන් කිසිම පුද්ගලයෙකු සිහි නොකරන විශේෂ ක්‍රමයකට සිහිපත් කරන බව ඔබටද අත්විදිය හැක.

03 July 2012

කුරානයේ විද්‍යාත්මක හෙලිදරව්වන්


Scientific Revelations of the Qur'an.
මෙය ඉතාමත්ම සිත් ඇදගන්නා සුළු මාතෘකාවකි. විද්‍යාව නොදියුණු ඈත ඉතිහාසයේදීට වඩා අද මෙය ඉතාමත්ම කාලෝචිතය.

අද විද්‍යාව මිනිසාව අන්ද මන්ද කරන තරවටම දියුණු වෙලා තියෙන්නේ.

අපි මුලින්ම විද්‍යාවේ සහ කුරානයෙ මුල හොයල ඉමු.

විද්‍යාව මේ විශ්වය හෝ පෘතුවිය තුල එය පටන් ගත්ත දවසේ ඉදලම තිබුන දෙයක් බව කව්රුත් දන්නවා. නමුත් යම් දෙයක් විද්‍යාත්මකය් කියල මිනිසාට වැටහෙන්නේ මිනිසා විසින් එය විද්‍යාත්මකව තහවුරු කරගන්න උත්සහ ගන්න විට හෝ තහවුරු කරගත්තට පසුවය්. එතෙක් එය විද්‍යාත්මකය් කියල කව්රුත් කියන්න යන්නේ නෑ.

01 July 2012

කුරානය යනු කුමක්ද ?



What is the Quran?

මෙය විවිධ පැතිකඩ වලින් හදුන්වා දෙන්න පුළුවන්. අපි දන්නා තරම් ඈත අතීතය දක්වාම සහ මෙම පෘතුවිය තුල අප නොදන්නා ඉතිහාසයේ කෙලවර හෙවත් පෘතුවියේ ආරම්භය දක්වාම දිව ගියත් එදා මෙදා තුල පෘතුවිය තුල වූ සියළුම දෙයට වඩා බැබලුණා වූද, පෘතුවියෙහි අවසානය දක්වාම බබලන්නාවුද "මහා ප්‍රාතිහාර්ය" ලෙස මෙය හදුන්වදෙන්නත් ඔප්පු කරලා පෙන්නන්නත් පුළුවන්.

30 June 2012

විශ්ව දහම සරළව අවබෝධ කරගැනීමට උත්සාහ කරමු.


Let's try to understand Universal Dharma simply.
අපේ 'අතක්' දෙස මදක් සිත යොමුකර බලන්න;

අපට එය නමන්න දිගහරින්න කරකවන්න ආදී වශයෙන් හසුරුවන්න කොතරම් පහසුද. මෙය පොදුවේ ගත්කල අප පෘථිවිය තුල කුමන කාලයක, කුමන තරාතිරමක, කුමන ප්‍රදේශයක ජිවත්වන කෙනෙකුට උනත් වෙනසක් නැහැ.

අත ගැන පමණක් නොව, අපේ එදිනෙදා අනිකුත් බොහෝමයක් සාමාන්‍ය වැඩ කටයුතු ආදිය අපහසුවකින් තොරව අපට තේරුම් ගන්නටත්,  කර ගන්නටත් පුළුවන්.

මෙවැනි පොදු තත්වයක් ලොව තුල පවතිනවා නම්, මෙම පෘථිවිය තුල කුමන කාලයක, කුමන තරාතිරමක, කුමන ප්‍රදේශයක ජිවත්වන කෙනෙකුට උනත් වෙනසක් නැතුව තමන්ට අදාල ආගම දහම තේරුම් ගැනීමටත්, එය ක්‍රියාවට නැංවීමටත්, එය තව කෙනෙකුට කියා දීමටත් අපහසු නොවිය යුතුයි. එයටද පොදු තත්වයක් තිබිය යුතුයි.

තමන් අදහන ආගම හෝ දහම ගැන දැනගන්න මහා පුස්තකාලයක් තුල ජිවිත කාලයක් ගත කරන්න වෙනවා නම්, එය එතරම්ම සංකීර්නයි නම්, ගමේ සිටින අඩු අධයාපනික දැනුමක් ඇති මි හරක් බලන්නාට තමන්ගේ ආගම ගැන සොයා බැලීමේ කටයුත්ත ප්‍රයෝගික නොවෙනවානම් එය පොදු දහමක් හෙවත් විශ්ව දහමක් වෙන්න බෑ. එය ගමේ මි හරක් බලන්නාටට සුදුසු නෑ. මගේ මතය නම්, "දහම සංකීර්ණ වුවත් එය බුද්ධිමතුන්ට පමණක් නොවිය යුතුයි". (සෝපාක නම් පහත් කුලයේ සිටි දුප්පත් දරුවාත් ඔහුගේ මවත් බුදුන්වහන්සේගෙන් බණ අසා ඉතා සුලු වෙලාවකින්ම සෝවාන් වූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්. මෙය පෙර පින් නිසා සිදුවූවක් ලෙස නොව, ඔවුන් දහම තේරුම්ගත් නිසා සිදුවූවක් ලෙසයි අපි වටහා ගත යුත්තේ).

ආගම දහම සංකීර්ණ වෙන්න පුළුවන්, ඒත් ඒ සංකීර්ණතාවය අපේ හිසට ලොකු බරක් වෙන්න විදිහක් නෑ. අපේ අතත් කොච්චර සංකීර්ණද. ඒත් ඒ සංකීර්ණතාවය අපට ගැටළුවක් වෙලා තියෙනවද. නැහැ නේද?

මගේ මතය අනුව නම්, "ආගම දහම සංකීර්ණ නෑ. ආගම දහම මිනිසුන් විසින්ම සංකීර්ණ කරලා" කියලයි මට නම් හිතෙන්නේ. 

තම තමන් අදහන දහමේ සංකීර්ණ තාවයන් ගැන තම තමන්ම හිතාගන්න. මම ඉස්ලාම් දහම සරලව හඳුන්වා දෙන්න උත්සහ ගන්නම්.

  • මොකක්ද මේ ඉස්ලාම් කියන්නේ? 
  • කාටද මේ මුස්ලිම් කියන්නේ? 
  • මෙය කොහෙන් ආවද? 
  • මේක කාගේ ආගමද? 
  • මේක ඇත්තක්ද, බොරුවක්ද, විහිලුවක්ද?
ටිකක් හොයල බලමු......

කෙටි "ප්‍රශ්න-උත්තර රටාවකින්" සරළ විදිහට දහම පිළිබඳව අධ්‍යයනයට ප්‍රවිශ්ඨ වෙමු.

අපි මෙහි "මුල - මැද - අග" හොයමු.

පහත සඳහන් තොරතුරු මෙහි විස්තර කර ඇත. 

මුලින්ම විශ්වය පිළිබඳව දල අදහසක් 
  • "ඉස්ලාම්" යන්නෙහි සිංහල අරුත
  • ඉස්ලාම් දහමේ ඉතිහාසය පිළිබඳව දල අදහසක් 
  • ඉස්ලාම් ස්වභාවික දහමකි 
  • "මුස්ලිම්" යන්නෙහි සිංහල අරුත 
  • ඉස්ලාම් ආගමෙහි අරමුණ
  • මනුෂයයාගේ ආරම්භය, වර්ථමානය සහ ඔහුගේ අවසානය.

මුලින්ම විශ්වය පිළිබඳව දල අදහසක් ගමු.

මිනිසාට ග්‍රහණය වන විශාලතම දේ කුමක්ද? විශ්වය. 

විශ්වයට ආරම්භයක් තිබේද? ඔව්. (නුතන විද්‍යාවේ පිළිගැන්ම [බිග් බැන්ග් තියරිය]ට අනුව වසර බිලියන 20ට පමණ පෙර).

එසේ නම් මෙම විශ්වය තුල පවතින ආගම හෝ දහමක උපරිම ඉතිහාසය කොපමණද? නුතන විද්‍යාවට අනුව වසර බිලියන 20 ක් විය යුතුයි.

ඉන් එහාට දිවයන ආගමක් පිලිබදව විශ්වාස කල හැකිද? නුතන විද්‍යාවට අනුව පිළිගන්න බැහැ. (එහෙත්, බෞද්ධාගම වැනි ධර්ම ඉතිහාස වල අපි අහල තියෙන සාරා සංකීය කල්ප ලක්ෂ ගණන් එපිටට ගිය අතීතය සහ එකල මනුෂ්‍යයන්ගේ පැවැත්ම, මෙය ඇතිවන නැතිවන චක්‍ර ලෙස සිදුවන බව ආදිය සැලකිල්ලට ගත්තත් එහි ආරම්භයක් ගැන සඳහනක් නෑ. ඉස්ලාම් දහම තුල ඉහල අහස් හතක නිර්මානයක් සහ එහි විනාශය ගැනද කතා කරයි. කෙතරම් විශාල විශ්වයන් ඇතිවී නැති වී නැවත නැවත චක්‍ර ලෙස සිදු උනත්, දෙවියන් අහස් හතක් සහිත විශ්වය නිර්මාණය කල බව ගැන සඳහන් කලත් අප වටහා ගත  යුතු ප්‍රධානතම කාරනාව වන්නේ ඒවා සියල්ල නිර්මාණ ලෙසට දැකිය හැකි බවය). 

විශ්වයේ ආරම්භය පිළිබඳව මිනිසා දරන අදහස කුමක්ද?
  1. ඉබේම/ හේතුවක්, හේතු කාරකයක් නොමැතිව හටගැනීම. - බුද්ධිය ඇති කෙනෙක් මෙය පිළිගන්න සුදානම් නැ. ආරම්භ වන සෑම දෙයකටම හේතුවක් තිබිය යුතුය. 
  2. මහා මැවුම් කරුවකුගේ මැවීමක්  
ඉස්ලාම් දහමේ ඉතිහාසය පිළිබඳව දල අදහසක් ගමු.

1. මෙම විශ්වය තුල "ඉස්ලාම් දහම" පටන් ගත්තේ කවදාද? විශ්වය ආරම්භ වූ දවසෙ. (සමහර විට තේරුනේ නෑ - නෑ. වගේ දැනුනත් කමක් නෑ, ඉදිරියට යන්න. පසුව වැටහෙයි).

2. පළමු මිනිසා වදුරෙකුගෙන් ඇති උනාද? නුතන විද්‍යාවට අනුව අද එය ලොකුම විහිළුවකි. (ලොව සිටින යුදෙව්වන්, ක්‍රිස්තියානුවන් සහ මුස්ලිම් සියල්ලම පිලිගන්නේත් මිනිසා ආදම් [අ.ස] නැමති පලමු මිනිසාගෙන්  මනුශ්‍යය දරුවන් ලෙස පෘතුවිය පුරා වියාප්ත උන බවයි).

3. පළමු මිනිසාට උපතක් තිබේද? නැත. එය මැවිමකි. 

4. ඉස්ලාම් දහමට අනුව මනුශ්ෂ්‍යයා ආරම්භ වුයේ කවදාද? දෙවියන් විසින්  පළමු මිනිසාව නිර්මාණය කල දවසෙ.(විස්තර පසුවට).

5. ඉස්ලාම් දහමට අනුව පෘථිවියට මනුශ්ෂ්‍යයා බිහි වුයේ කවදාද? පළමු මිනිසා (සහ ඔහුගේ බිරිද) පෘථිවියට පහල වූ දවසෙ. (විස්තර පසුවට)

6. පෘථිවිය මත ජනගහන වර්ධනය පිළිබඳව අදහසක් දෙන්න .

මුලින්ම පළමු මිනිසා සහ ඔහුගේ බිරිද = 2 ඉන්පසු ඔවුන්ගෙන් ටික ටික දරුවන් ඇති උනා - 4 < 8 < 20 < 100 < 500 < 2,500 < 12,000 < 75,000, ........1 Billion < 5 Billion < අද 7.8 Billion. 

7. පෘථිවියෙහි පළමු මිනිසාගේ දහම ඔහුට ලැබුනේ කාගෙන්ද? ඔහුගේ නිර්මතෘගෙන්.

8. පළමු මිනිසාට ඔහුගේ නිර්මතෘ (දෙවිදුන්) ඔහුට දුන් දහම කුමක්ද? දෙවිදුන්ගේ නියමයන්ට අනුව ජිවත්වන ජිවන සැලැස්ම (එය ඉස්ලාම් ලෙස හඳුන්වයි).

9. පළමු මිනිසා (ආදම් අ.ස)ට වෙනත් ශාස්තෘවරුන් හිටියද? නැත.

10. එසේනම් ඔහු නැමදුවේ කාවද ? ඔහුගේත්, මුළු මහත් විශ්වයේත් නිර්මතෘ වන - එකම දෙවියන්ට 

11. පෘථිවියෙහි වසන සියල්ල පළමු මිනිසාගේ දරුවන් නම්, අද ඔහුගේ දරුවන් වන අප නමදින්නේ, අප පිළිපදින්නේ, අපගේ මුල්ම පියාට ඔහුගේ නිර්මාතෘගෙන් උරුම වු, මුල්ම පියා අනුගමනය කල දහම වන "ඉස්ලාම්"ද , නැත්නම් පියා ට පසු බිහිවූ වෙනත් ශාස්තෘවරුන්ගේ දහමක් ද?

පළිතුරු 3 කි.

  1. ඔව්, අප පිළිපදින්නේ අපගේ මුල්ම පියා ඇදහු විශ්වයේ නිර්මාතෘ (අල්ලාහ් ) (එකම දෙවියා) ගේ දහම වන ඉස්ලාම්ය. (මෙයයි මා අද  පිළිගන්නා පිළිතුර) 
  2. නැත, අප පිළිපදින්නේ අපගේ මුල්ම පියා ගෙන් පසු බිහිවූ වෙනත් ශාස්තෘවරුන්ගේ දහමකි. (ඉබ්‍රහිම්, මුසා, ජේසුස්/ඊසා (අලෙය්) හෝ මොහම්මඩ් (සල්), හෝ බුදුවරුන්, හෝ සාය් බබා හෝ වෙන ඕනෑම කෙනෙකුගේ දහමක්) 
  3. අප කිසිම දහමක් පිළිපදින්නේ නැත.
ඉස්ලාම් ස්වභාවික දහමකි

1. සෑම මනුෂ්‍යයෙකුටම ඉස්ලාම් දහම ගැන දැන ගැනීමට ශාස්තෘවරුන් උවමනා ද? නැත

2. එසේ නම් ඔහු තම දහම, තමා නමදින්නේ කාටද යන්න පිළිබඳව  දැනගන්නේ කෙසේද? එය ස්වභාවික වූ දහමය්. එය තමා තුලම ඇත. 

3. උදාහරණ මගින් පෙන්විය හැකිද? ඔව්. බාහිර ලෝකයට කිසිම අයුරකින් නොගැටුණ පුද්ගලයා අදහන දහම කුමක් ද? එයය් පිළිතුර. එයද "ඉස්ලාම්" වේ. කුඩා කල සිටම කැලෑවක තනියම ජීවත් වූ මිනිසෙකුට වුව තම ස්වභාවික දහම අනුගමනය කරමින් සිටිය හැක. (නිසි පරිදි දෙවියන්ව හදුනා ගැනීම ස්වභාවය මිනිසා තුලම ඇත).

නමුත් තම සමාජය වෙත (තම නිර්මාතෘ විසින් පැහැදිලි සාක්ෂි සහිතව) දුතවරයෙක් ඒවා තිබේ නම් එම සමාජය ඔහුව අනුගමනය කිරීම අනිවාර්ය වේ.

4. අද සමාජය තුල තියෙන්නෙත් ඔය කියන ඉස්ලාම් දහමමද? ඔව්

5. එහෙනම් ඉස්ලාම් දහමේ සාශ්තෘවරුන්නි පැමිණ තිබෙන්නේ ඇයි? තමා තුල ඇති තම ස්වභාවික දහම අමතක කල අය‍ට මතක්කර දීමට සහ එම දහම අනුගමනය කල හැකි බව ආදර්ශයක් මගින් පෙන්වීමටත්, දෙවියන්ගේ පණිවිඩය මහජනයාට ප්‍රකාශ කිරීමටත්ය.

6. ඔය කියන ස්වභාවික දහම යන්න ටිකක් පැහැදිලි කරනවද? විශ්වයේ මෙන්ම තමාගේ නිර්මාතෘ තමාටත් තමාගේ මුල්ම පියාටත් කියා දුන් ජිවන සැලැස්ම (ඉස්ලාම්).

7. මුල අමතක කල ජනයා නොමග ගියේ කෙසේද? තම මුල්ම පියා නොකළ දේ කලා. තම නිර්මාතෘව නොනැමද වෙනත් වෙනත් දේ, වෙන වෙන මනුෂ්‍යන්, ගස් ගල්, රුප, පිළිම, තමන් සාශ්තෘවරුන් යැයි හඳුන්වා ගත්තු අයව නමදින්න යොමු උනා. තම දෙවියන්ගේ උපදෙස් වෙනුවට වෙන වෙන උපදෙස් පස්සේ ගියා. ඇතැමුන් තම නිර්මාතෘව වැරදි විදිහට තේරුම් ගෙන ක්‍රියා කලා. සමහරු දෙවි ගොල්ලන්ට එක එක රූප තමන්ම හිතල හදාගත්ත. කිසිම සාක්ෂියක් නැතුවම.

8. ඔය කියන ස්වභාවික දහම හැම කෙනෙක් තුලම තියෙනවා කියල කොහොමද පිළිගන්නේ? ඔබ ඔබේම හදවතින් අහන්න. ඔබ කුමන ආගම ඇදහුවත් ඔබ කුමන හෝ මොහොතක ඔබ ඔබේ දෙවියන්ව අමතන ස්වභාවය ඔබ තුලින් මතුවෙනවා. 

9. මුස්ලිම් නොවන අයත් දන්න දෙවිගොල්ලෝ ගොඩක් ඉන්නවා (තිස් තුන් කෝටියක් විතර). ඉස්ලාම් දහමේ කියන රූපයක්වත් නැති එකම දෙවියෝ හදුනාගන්න පුලුවන්ද? ඔවුන් විශ්වාස කරන දෙවිගොල්ලෝ කිසිවෙකු පිළිබඳව කිසිම සාක්ෂියක් නැහැ. නමුත් ඉස්ලාම් දහම තුල පෙන්වා දෙන මෙම විශ්වය මවා, පෝෂණය කරමින්, පාලනය කරමින් සිටින එකම සර්වබලධාරී දෙවියන් සිටින බවට බුද්ධිය තියෙන කෙනෙකුට නම් සාක්ෂි සහිතව පෙන්වන්නට පුළුවන්.

10. දෙවියන්ගේ උපදෙස් අපට දැකබලා ගන්න පුලුවන්න්ද? ඔව්, කිසිදු සැකයක් නැතිව, ඕනෑම වෙලාවක.

11. ඒ සදහා පූජක පක්ෂයක සරණ යා යුතුද? කොහෙත්ම නෑ. ඉස්ලාම් දහමට පුජක පක්ෂයක් නැත. නමුත් ඔබේ පහසුව සඳහා ඉස්ලාම් සම්බන්ධව නිවැරදි දැනුම ඇති අයෙකුගෙන් සහය ලබා ගැනීම වඩා හොඳය

12. ඒ සදහා මා සුදානම් විය යුත්තේ කෙසේද? පක්ෂග්‍රාහී නොවී, හැගීම් වලට වහල් නොවී, මධ්‍යස්ත මනසකින්, බුද්ධිමත්ව සවන්දෙන්න, කියවන්න, බලන්න. ඉතාම ඉක්මනින් විශ්ව දහම කුමක්ද යන්න ඔබට තේරුම් ගත හැක. ඔබ මහාචාර්ය කෙනෙක් හෝ අධ්‍යයාපනික් දැනුම අඩු කෙනෙකු හෝ වෙන්න පුලුවන්. ප්‍රශ්නයක් නෑ.

"ඉස්ලාම්" යන්නෙහි සිංහල අරුත දැනගනිමු.

'ඉස්ලාම්' කියන්නේ ආගමට දීල තියෙන නමද? නැත, එය අරාබි වචනයකි. කෙටිම සිංහල අරුත "සාමය"යන්නයි. (යටහත් වීම, අවනත වීම, හා කීකරු වීම යන්නත් ඒ තුල ගැබ්ව ඇත. එයද සිහියේ තබාගන්න).
මොන විදිහේ සාමයක්ද? මේ විශ්වයේ මන්දාකිණිවල සිට, සෞරග්‍රහ මණ්ඩලවල සිට, ග්‍රහ ලෝක, ඉර හද, අහස පොලොව සුළග ගින්දර කඳු මුහුඳු ගහ කොළ සතා සිව්පාවා මනුෂ්‍යයද ඇතුළුව අපේ පන්චේන්ද්‍රයන්ට ගෝචර වන, ගෝචර නොවන සියල්ලගේම පවතින සාමය "ඉස්ලාම්" යන වචනය තුල ඇත. (තේරෙන්නේ නෑ නෑ වගේ හිතුනට කමක් නෑ, ඉදිරියට යන්න. එවිට වැටහෙයි)
සාමය (සලාම්) ඇති විට අපිට කුමක් බලාපොරොත්තු විය හැකිද? ප්‍රචණ්ඩත්වය නොමැතිකම, පීඩනය නොමැතිකම, විප්ලවයක් නොමැතිකම, ක්‍රියා පිලිවතෙහි අව්ලක් නොමැතිකම, නිතිය අකුරටම ක්‍රියාත්මක වීම, මනා පාලනයකින් යුක්ත වීම, යහපත් වටපිටාවක් ගොඩනැගීම. මෙය විශ්වයේ ක්ෂිරපත වල හෝ වේවා සෞරග්‍රහ මණ්ඩලවල හෝ වේවා, පෘථිවියෙහි අහස, පොලව හෝ මුහුද තුල හෝ වේවා, මහා කැලයක හෝ කුහුඹි ගුලක හෝ දෙබර කුඩුවක හෝ පාසල් කාමරයක හෝ පව්ලක හෝ තමා තුළ හෝ විය හැකි.
ඉහත සදහන් ආකාරයට ග්‍රහලෝක වල, ගින්දර වල, ගහ කොළ,  සතා සර්පයා ආදිය තුල හා මිනිසා තුල 'සලාම්' හෙවත් 'සාමය' තියෙන්නේ කෙසේද? ග්‍රහ ලෝක කෙසේ ක්‍රියා කරන්නේ දැයි බලන්න. තම නිර්මාතෘගේ අණට, නිතියට එකගව, එනම්, යටහත්වද, අවනතවද, කිකරුවද තම කක්ෂයන් තුල නියමිත වේගයන්ගෙන් නියමිත චලන පමණක් දක්වයි. දේව නීතියට පිට නොයනු ඇත. එනම් ග්‍රහලෝක තුල සාමය හෙවත්"ඉස්ලාම්"ඇත.
උදාහරණයක් බලන්න. සූර්යයා පැයකට කි.මි. 720,000ක වේගයෙන් තම කක්ෂය තුල පිහිටුවමින් වේගා නම් දැවැන්ත තරුවක් දෙසට ගමන් කරන බව නුතන විද්වතුන් පවසය්. සූර්යයා සමග පෘථිවියත් එම ගමනේ යය්. තම තමන්ගේ දුර පරතරයන් නිසියාකාරව තබා ගනී. මෙය නිකම්ම වෙනවද? ඉරය් පෘතිවියය් සාකච්චා කරගෙන මේ ගමන යනවද? නැත්නම් මෙය මෙහෙයවන, නිතිය ක්‍රියාත්මක කරවන, අණදෙන කව්රුහරි ඉන්න ඕනිද?  

ඉරද, මුහුදද, ගහකොලද, කුහුබියගේ ශරීරයද දේව නීතියටම අනුව ක්‍රියා කරයි. එනිසා ඒවා තුල සාමය (ඉස්ලාම්) ඇත. 

මිනිසාගේ ශරීර අවයවයන් ද මුළු සිරුරමද දේව නීතියට අනුව ක්‍රියා කරයි. එනිසා මිනිසාගේ සිරුර තුල සාමය (ඉස්ලාම්) ඇත. කොටින්ම සෑම අංශුවක්ම දේව නීතියට අනුවම මිස වෙන ක්‍රමයකට ක්‍රියාත්මක වන්නේ නෑ.

දැන් මිනිසාගේ සිත ක්‍රියා කරන්නේ කෙසේ දැය් බලමු.

මිනිසාගේ පුද්ගලික ස්වභාවය අනුව සිත් ආකාර දෙකකට ක්‍රියා කරයි .

a) දෙවියන් විශ්වාස කරන (දේව නීතියට එකඟව පවතින) සිත [එතුල සාමය හෙවත් 'සලාම්' ඇත].

b) දෙවියන් විශ්වාස නොකර දේව නිතියට පිටුපා පවතින සිත (එතුල සාමය හෙවත් 'සලාම්' නැත). මොහු තුලද දේව විස්වාසය ඇත. නමුත්, තමාගේ හෝ වෙන යම් බලපැමක හේතුවෙන් එය තමා තුලම සඟවා/ යටපත් කර ඇත.

"මුස්ලිම් "යන්නෙහි සිංහල අරුත දැනගනිමු.

  • 'මුස්ලිම්' කියන්නේ අරාබිකරයෙන් බිහි වූ මනුෂ්‍ය ජාතියක්ද? නැත 
  • 'මුස්ලිම්' කියන්නේ කුමන හෝ මනුෂ්‍ය ජාතියක් හදුන්වන වචනයක්ද? නැත 
  • 'මුස්ලිම්' යන වචනය මනුෂ්‍ය නොවන, පන ඇති හෝ පන නැති දෙයකටද භාවිතා කල හැකි නම්, 'මුස්ලිම් යන අරාබි වචනයෙහි සිංහල අරුත කුමක්ද? විශ්වය සහ එහි ඇති ඝන, ද්‍රව, වායූ සියල්ල එහි නිර්මාතෘ ගේ නිර්මාණය. නිර්මාතෘට සහ ඔහුගේ නියමයන්ට යටහත්ව, කීකරුව සහ අවනතව ජීවත් වෙන කෙනා හෝ පවතින දෙය (එනම් එම නිර්මාණය අරාබි බසින් "මුස්ලිම්" දෙයක් ලෙස හඳුන්වන්න පුලුවන්.
ව්‍යාකරණ රටාව බලන්න

****සලාම් =දේව නීතියට යටත්ව, කීකරුව, අවනතව "සාමයෙන් පැවතීමේ" ක්‍රියාව.

****මු= අරාබි ව්‍යාකරණ වලට අනුව ක්‍රියාව මුලට යොදන අකුරකි (මෙය දැමු පසු ක්‍රියාව>, "ක්‍රියාව කරන්නා" බවට පත් වේ).

****මු + සලාම් = මුස්ලිම්  [සලාම්/සාමය කියන දේව නීතිය ක්‍රියාවට නගන්නා]

උදා: මු + දරස් = මුදරිස් (උගන්වන්නා) [දරස්/ උගැන්වීම ක්‍රියාවට නගන්නා]

ඉර මුස්ලිම් ද? ඉරද එකම නිර්මාතෘ ගේ නිර්මාණයකි. ඉර වෙත එහි නිර්මාතෘ විසින් පනවන ලද නියමයන්ට යටහත්වද, කීකරුව සහ අවනතවද පවතින නිසා ඉර මුස්ලිම් ය. ඔබගේ හදවතද එහි නිර්මාතෘ විසින් පනවන ලද නියමයන්ට යටහත්වද, කීකරුව සහ අවනතවද පවතින නිසා එයද මුස්ලිම් ය. මේ අනුව මුළු සොබා දහමම මුස්ලිම් ය.
මනුෂ්‍යයාගේ හදවත ක්‍රියාත්මක වන්නේ කාගේ නියමයන්න්ට අනුවද? තමා එය ක්‍රියා කරවීමට ඉදිරිපත් වී නැත්නම්ද, තමාගේ මව හෝ පියා හෝ එය කර දෙන්නේද නැත්නම් සහ එය "නිකම්ම වෙනවා" කියල කියන්න තරම් අපේ බුද්ධිය අපට ඉඩ දෙන්නෙත් නැත්නම්, එය අපේ ශරීරයේ හිමිකරු විසින් කරනවා හෝ කරවනවා විය යුතුය් නේද? හේතුව නම්, මේ විශ්වය වගේම ඔබෙත් මගෙත් ශරීරයේ හිමිකරු ඔහු (එනම් එකම සර්වබලධාරී දෙවියන්-අල්ලාහ්) නිසා. 
විශ්වයම දෙවියන්ගේ අණට යටත්ව අවනතව කීකරුව සිටින නිසා මුළු විශ්වයම "මුස්ලිම් "ද? ඔව්. පැහැදිලිවම.
එසේ නම් සමාජය තුල 'මුස්ලිම් නොවන ජන කොටසක්' ලෙස අපි හදුන්වන්නේ කාවද? වැදගත්ම ප්‍රශ්නය මෙයයි .පිළිතුර ටිකක් විස්තර ඇතුව ලියන්නම්.  
මිනිසා මෙම පෘතුවිය තුල සුවිශේෂී නිර්මාණයකි. මුළු පෘතුවියමද, අහසද පොළවද ඉර හඳ තරු ගහ-කොල සතා-සිව්පාවා ගංඟා මුහුදු වැලි පස්  සුලඟ ආදී සෑම දෙයක්ම මිනිසාට සේවය කරයි. දෙවියන් ඒවා මිනිසා ට අවනත කර දී ඇත.

මිනිසා මෙම පෘථිවියෙහි නියෝජිතයා වේ. ඔහුට අනිකුත් නිර්මාණ වලට වගේ නොව, සියුම්ව හැසිරිය හැකි සිරුරට අමතරව සුවිශේෂී බුද්ධියක්ද, සිතීමේ නිදහසද, හොඳ නරක තෝරා බේරා ගැනීමේ නුවණද, යමක් දෙස නිකම්ම බලන්නේ නැතුව විචාර බුද්ධිය මෙහෙයවල භෞතික මෙන්ම පාර භෞතික දේද සිහිනුවනින් දැකීමේ හැකියාවද උරුම කරදී, ඉරද හඳද ඇතුළුව පෘථිවියමද තමාට නතුකර දී (එනම් පෘථිවියෙහි නියෝජිත තනතුර දී) මේ පෘතුවිය තුලට කිසියම් කාලසීමාවකට මිනිසාව එවා ඇත. 

මිනිසාට අවශ්‍ය සියලු පහසුකම්ද, ඇස් කන් ආදියද, කතා කිරීමේ ලිවීමේ උපකරණ හැදීමේ හැකියාවද දී ඇත. ජිවත් විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව තමා තුලම දැනුමද, හෘද සාක්ෂියද ස්ථාපිත කර දෙවියන් නැමදීමේ චින්තනයද මනසතුලට කවා, ඒ අතර තුර නොමග යමින් තම ස්වාමියා/ තම නිර්මාතෘ/ තම දෙවියා අමතක කල අයට මතක් කරදීමටද ජිවත් වන්නේ කෙසේද යන්න පිලිබදව ආදර්ශයෙන් උපදෙස් දී යහමග කියාදීමට සහ තම දෙවියන්ව ප්‍රතික්ෂේප කිරීමෙන් ඇතිවන භයානක ඉරණම ගැන බිය ගැන්විමටද තම දෙවියන්ට කිකරු වන්නන්ට සුභාශින්සනද රැගෙන වරින්වර දෙවියන්ගේ දුතයන්ද ඒවා ඇත. තව්රාත්, සුබුර්, ඉන්ජිල්, කුරාන් වැනි ධර්ම පුස්තකද (දිවය්‍ය හෙලිදරව්වන්) එවා ඇත.

තත්වය මෙසේ තිබියදී 'තමන්ට නිර්මාතෘ කෙනෙක් නැත'ය කියමින් 'විශ්වය නිකම්ම බිහි උනා' කියමින්, 'විශ්වයේ පාලනය නිකම්ම වෙනවයි කියමින්, පැහැදිලි සාක්ෂි සහිත පැමිණ ඇති දෙවියන්ගේ වදන්, දිවය්‍ය හෙලිදරව්වන් දේවදුතයන් ප්‍රතික්ෂේප කරමින් වෙන වෙන මාර්ගවල යන උදවිය, වෙන වෙන ශාස්තෘවරුන් අනුගමනය කරන උදවිය "මුස්ලිම් නොවන" ජන කොටසයි. ඒ අයගෙත් හිත පමණක් මුස්ලිම් නොවේ. නමුත් තම සිරුර දෙවියන්ට අවනතයි. එනිසා සිරුර මුස්ලිම් වේ .

තම නියෝජිතයා(මිනිසා) තම ජිවිත කාලය තුල තමන්ට ලැබුණු ශරීරයද ලැබුණු වස්තුවද දරුවන්ද අසල්වැසියන්ද සතා සිව්පාව සමගද ගහ කොල සමගද තම පරිසරය සමගද කෙසේ ජිවත් වන්නේ දැයි තමා නිරීක්ෂණය කරමින්ද සටහන් කරමින්ද සිටින බව දෙවියන්ම පවසයි. 

හොඳ නරක තෝරාගෙන, පරිසරයට ලෙන්ගතුව හෝ හානිකරවද, පින් වැඩ හෝ පව් වැඩ කරගෙන, සාමයෙන් සමගියෙන් හෝ ප්‍රචණ්ඩත්වයෙන් ද, ආත්මාර්ථකාමී හෝ පරාර්ථකාමී ලෙසද, යහපත් හෝ අයහපත් පරිසරයක් තෝරාගෙන, යහපත් හෝ අයහපත් ජිවනොපයක් කරගෙන, මනුෂ්‍යයෙක් ලෙස හෝ තිරිසනෙක් ලෙස තම බුද්ධිය යොදවමින් තම ජීවිතය කරගෙන යාමේ නිදහස මිනිසාට දී ඇත. (මෙය දෙවියන්ගේ සුවිසේෂි පරීක්ෂණයකි). 

අන්ධයෙක්ව නිර්මාණය කර ඔහුට වෙනම පරීක්ෂණයක්ද, ඇස් අන්ධ කෙනා දිහා බලාගෙන ඇස් තියෙන කෙනා හැසිරෙන ආකාරය, එය වෙනම පරීක්ෂණයක් ලෙසද ඉදිරිපත් කර ඇත.

සෑම මනුෂ්‍යයෙකුටම ස්වාදීන වූ පරීක්ෂණයකි. පරීක්ෂණයේ ප්‍රතිපල තම තමන් තම නිර්මාතෘ ගෙන් බලාපොරොත්තු වන්න. මරණින් පසු. (ඒ ගැන පසුව කියවන්න). එක මිනිසෙකුට අවස්ථා දෙකක් නෑ. මේ වන විටත් මෙලොව හැර ගොස් ඇති සියලුම දෙනාගෙම ජීවිත කතාවන් දෙවියන් ලඟය. 

මරනින් පසු අප සියල්ලට "බර්සාහ්" නමින් හඳුන්වන මරනින් මතු ජීවිතකාලයක් ඇත. අප මිය ගිය පසු නැවත අපට මේ ලෝකයට මනුශ්යයෙකු ලෙස හෝ සතෙකු ලෙස පැමිණිය නොහැකිය. නැවත දෙවියන් අපව කැඳවන දවසේ ඔහු වෙත යා යුතුව ඇත. ඉන් පසු අප මෙලොව කල කී දේ සම්බන්ඳයෙන් විනිශ්චය ලබා දෙනු ඇත. විනිශ්චය අනුව අපගේ ගමනාන්තය ස්වර්ගයෙන් හෝ අපායෙන් කෙලවර වනු ඇත. ඒ නවාතැනෙහි නිමක් නැති කාලයක් ඉන්නට සිදුවනු ඇත. එනිසා අපගේ මරනින් මතු ජීවිතය සැපවත් කර ගැනීමට අපගේ නිර්මාතෘ ගේ උපදෙස් වලට අනුව ජීවිතය සකසා ගැනීම අප සැමගේ අරමුණ විය යුතුය.

මෙම විශ්වය තුල (අපට ඉහලින් ඇති අහස් තුල) අප වැනි තව කොපමනදෝ නිර්මාණ කර ඇති බවද දෙවියන් කුරානය තුලින් අපට දන්වා ඇත (අල් කුර්ආන් 23:17). ඒවා සියල්ල් හේතුවක් සඳහාම නිර්මාණය කල බවත් පවසා ඇත. දෙවියන්ගේ කැමැත්ත පරිදි යම් දිනක මෙම විශ්වයම විනාශකර දමනු ඇත. ඉන් පසු නැවත අලුත් තත්ව හට ගැනීමක් පවා විය හැක. එය සදාකල් පවතින සර්වබලධාරී දෙවියන්ගේ කැමැත්තය. ස්වර්ගවාසීන් සහ නිරාවාසීන් දෙවියන් කැමති තාක් කල් ස්වර්ගයන්හී සහ නිරයන්හී සිටිනු ඇත. ඒවා තිබෙන්නේ කොහේදැයි දෙවියන්ම දනී. එහෙත් ඒවා නිශ්චිත වශයෙන්ම ඇති බව දෙවියන්ම අපට දන්වා ඇත.

by sjw

29 June 2012

මෙම බ්ලොග් අඩවියේ අරමුණ!

Purpose of this blog!
මගේ ආගම කුමක්ද?

ඔබ සම්බන්දව නම් මෙම ප්‍රශ්නයට පිළිතුර ක්‍ෂණයකින් ඔබේ සිහියට නැගෙනු නොඅනුමානය. නමුත් මෙය නැවත ඔබ ඔබෙන්ම අසාගත යුතු ප්‍රශ්නයක් බව මම ඔබට ඉඟි කරමි.
මගේ ආගමමගේ ඉරණමයි.